Friday, July 5, 2024
Home » අලුත් හැඩයක් සොයන ඉසුරු !

අලුත් හැඩයක් සොයන ඉසුරු !

by damith
July 1, 2024 1:09 am 0 comment

ඇතැම් දේවල් සම්බන්ධයෙන් බලපවත්වන නිර්වචන, මූලධර්ම, නීති – රීති හා කාන්දේසි කාලයත් සමඟ අහෝසි වෙයි. ඒ වෙනුවට නව කොන්දේසි හා අලුත් ආකෘති බිහිවෙයි. කලාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් ද මේ සත්‍යය එලෙසම පවතියි. ඒවා සමහරවිටෙක ක්ෂේත්‍ර‍ෙය් අභිවර්ධනයට හේතුසාධක වෙයි. තව සමහරවිටෙක ක්ෂේත්‍ර‍ෙය් කඩාවැටීමට හේතු සාධක වෙයි. අප කැමැති වුව අකැමැති වුව උක්ත වෙනසට මුහුණ දෙන්නට අපට සිදුවේ.

ලෝක ප්‍රබන්ධ කතාව සම්බන්ධයෙන් දහනව වන සියවස තුළ පැවැති ඇතැම් කොන්දේසි හා මූලධර්ම මේ වන විට උඩු යටිකුරු වී තිබේ. යථෝක්ත වෙනස හැඳින්වීම සඳහා සාහිත්‍ය‍ෙය් අලුත් මෝස්තර නොහොත් ප්‍රවණතා යන්න යොදාගත හැකිය. 19වැනි සියවසේ ප්‍රබන්ධ කතාවට බලපෑම් කළ එක් සාධකයක් වූයේ කැපී පෙනෙන සත්‍ය සිදුවීම්ය. සත්‍ය සිදුවීම්, සත්‍ය චරිත, සත්‍යවාදී පසුබිම හා උද්වේගකර අවස්ථා නවකතාවට පාදක කරගැනීම සාර්ථක ලක්ෂණයක් ලෙස සැලකිණි. එහි තවත් අර්ථයක් වන්නේ අභව්‍ය සිදුවීම් හා උද්වේගකර නිරූපණ නවකතාවට හා කෙටිකතාවට ඇතුළත් විය යුතු බවය. එහෙත් අද එය සැලකිල්ලට ලක්වන්නේ නැත. මුළුමනින්ම හිතලු මත ගොඩනැඟෙන ආකර්ෂණීය ප්‍රබන්ධ අද අප අතට පත්වෙයි. ඇතැම් කතාවක ඇත්තේ සිදුවීම් සම්බන්ධයෙන් චරිත තුළ මතුවන ප්‍රතිචාර හා ඇල්මැරුණු හැඟීම් පමණි. ඒවා තුළ මනුෂ්‍යත්වය වටහාගැනීම සඳහා අවශ්‍ය බලපෑම්කාරී සාධක පවතියි.

ඉහත පූර්විකාව ලියා තබන්නේ ඉසුරු ප්‍රසංගගේ “සියවැන්නී” නවකතාව පිළිබඳ සටහනක් තබන්නට පෙරටුගාමී ලෙසය. එය වෙනස් හැඩයකින් යුතු අලුත් නවකතාවකි. කර්තෘ සිය ප්‍රබන්ධය උදෙසා ඉදිරිපත් කර ඇති පසුවදනෙහි ඇති පහත සඳහන් වාක්‍ය කිහිපය නිරීක්ෂණය කරමු.

“කිසිම උද්වේගයක් නැති, ගැටුමක් නැති සමාජ, දේශපාලන අන්තර්ගතයක් නැති සරල පුද්ගල මනෝභාවයක් ගැන නවකතාවක් ලියන්න පුළුවන් ද කියලා අපි ඒ දවස්වල වාද කළා මතක ද?”

“ඔව්. ඒත් මේ වෙද්දී නෑ කියපු හැමදේම කවුරුත් නොහිතපු විදිහට ඒ කතාවට ඉබේම කඩා වැදිලා ඉවරයි. චූල පුද්ගල මනෝභාවයක් මේ විදිහට සමාජ, දේශපාලන ගැටුම් එක්ක පැටලෙයි කියන එක ටිකක් අවිශ්වාසනීය, අභව්‍ය සිදුවීමක් නොවෙයි ද?”(පසුවදනින්…)

ඉසුරු ප්‍රසංග

ඉසුරු ප්‍රසංග

ඉසුරු ප්‍රසංග හැඳින්විය හැක්කේ අභියෝග භාරගනු ලබන හිතුවක්කාර රචකයකු හැටියටය. තව අතෙකින් ඔහු ස්වකීය රචනාව සඳහා අලුත් ප්‍ර‍ෙව්ශ හඹා යන මුළුමනින්ම නිදහස් රචනා විලාසයක් අනුගමනය කරන ලේඛකයකු ලෙස ද පෙන්වා දිය හැකිය. නවකතාවේ කතා වස්තුව ගැන විග්‍රහ ඉදිරිපත් කරන විචාරකයෝ එය ප්‍රධාන සිදුවීම්වල ගළපා ගැනීමක් හෙවත් පෙළගැස්මක් බව කියති. ඉන් ගම්‍යවන ප්‍රධාන අදහසක් වන්නේ තාර්කික හා පැහැදිලි කතා – වස්තුවක් නවකතාවකට අවශ්‍ය බවය. එහෙත් ‘සියවැන්නී’ නවකතාවේ එවැන්නක් නැත. පුද්ගල මනෝභාව පෙළක් කෘතිය පුරා නිරූපණය කෙරේ. එය ගළපාගැනීම පාඨකයාට භාර වී ඇත. ඔහු සිය ප්‍රධාන කතාව තුළ අතුරු කතා ගොඩනඟයි. කවි, රචනා ඉදිරිපත් කරයි. දේශපාලන මතවාද වමාරයි. කර්තෘ ඉදිරිපත් වී කරනු ලබන විචාර, විවේචන, නිරීක්ෂණ, ප්‍රබන්ධ කතාව සඳහා සුදුසු නොවන බැවින් ඔහු කතාවෙන් ඉවත්විය යුතු යැයි ඉගැන්වීමක් ඇති මුත් මෙහිලා කතුවරයා වරින් වර ඉදිරිපත් වෙයි. ඔහු තම මතය පළකරන අතරම තමා ජීවමාන බව ද වරින් වර සඳහන් කරයි. මුළුමනින්ම නිදහස් ලියැවිල්ලකි.

මේ කතාව කියවාගෙන යද්දී, නිරන්තරයෙන්ම අප සිහියට නැගෙන බුකර්ස් සම්මානලාභී අමෙරිකන් රචකයෙක් සිටියි. ඔහු නම් පෝල් බෙටීය. 2016 දී පෝල් බෙටීගේ “ද සෙල්අවුට්” (THE SELLOUT) කෘතියට මෑන් බුකර්ස් සම්මානය හිමිවෙයි. ඔහු ද ප්‍රබන්ධ කතා රචනය සඳහා නව ප්‍ර‍ෙව්ශ හඹායන නිදහස් ලේඛකයෙකි. පෝල් හිටිහැටියේ තම කතාන්දරය තුළට කවි, රචනා ඉදිරිපත් කරයි. නිර්දය සමාජ විවේචන ඉදිරිපත් කරයි. කර්තෘගේ මතවාද ඉස්මතු කරයි. ඔහුගේ නව ආඛ්‍යාන විධිය සම්බන්ධයෙන් වැදගත් විනිශ්චයක් ලබා දෙන ඔලීවියා විලියම්ස් නම් විචාරිකාව අපූරු අදහසක් පළ කරයි.

“‘ද සෙල්අවුට්’ කතාව ගැන එක් තහනමක් පනවමි. එනම්, මේ කෘතිය ඇඳෙහි හාන්සි වී සැහැල්ලුවෙන් කියැවීමට සුදුසු නැත යන්නය. මන්ද යත් මා මේ කතාව කියවන විට හාස්‍ය‍ෙයන් කුල්මත් වූ නිසා ය.”

(2016 – මෑන් බුකර්ස් සම්මාන උළෙලෙහි විනිශ්චය සභාවේදී මේ මතය පළ වී තිබිණි.)

කළු ජාතිකයකු වූ “පෝල් බෙටී” හාස්‍යෝත්පාදක නවකතා රචකයකු ලෙස ද කවියකු ලෙස ද අමෙරිකන් සාහිත්‍ය තුළ ප්‍රකට චරිතයකි. ‘ද සෙල්අවුට්’ නවකතාවට අමතරව තවත් නවකතා කිහිපයක් රචනා කර ඇති “පෝල් බෙටී” “බිග් බෑන්ක් ටේක් ලිට්ල් බෑන්ක්” නමින් ලෝක අවධානයට ලක් වූ කාව්‍ය ග්‍රන්ථයක් ද පළ කර තිබේ. ඔහු සිය නිර්මාණ ඔස්සේ ඉදිරිපත් කරන සමාජ විවේචන හා නව මතවාද කෙරෙහි නූතන තරුණ පරම්පරාවේ දැඩි අවධානය යොමු වී ඇත.

ඉසුරු ප්‍රසංගගේ “සියවැන්නී” නවකතාව සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළ යුතු විශේෂ හා කැපී පෙනෙන කාරණා කිහිපයක් ද වෙයි.

1. සමාජ – දේශපාලන අර්ථ

2. ශූර නිරූපණ

3. නිදහස් ආකෘතිය හා ස්වාධීන ලියැවිල්ල

4. සුඛනම්‍ය භාෂාව

අපගේ විශ්වාසයට හා පිළිගැනීමට අනුව නම් ඕනෑම ලියැවිල්ලක් තුළ යම් සමාජ – දේශපාලන දැක්මක් තිබේ. වැදගත් වන්නේ එය සජීවී සමාජයට බලපෑම් කරන ආකාරය සොයා බැලීමය.

කතාවේ ප්‍රධාන චරිතය හැටියට සඳහන් කළ හැකි “දිනිඳු” යනු බොහෝමියානු චරිතයකැයි කිව හැකිය. ඔහු යම් ආර්ථික පසුබිමක් සහිතව ජීවිතයේ යම් අවකාශ සොයන පුද්ගලයෙකි. පොත් කියවමින්, සිනමාව නරඹමින්, බියර් බොමින් ජීවිතයේ තෘප්තිය හඹායන ඔහුට හමුවන්නේ තෘප්තිය නොව ආතෘප්තියයි. හුදෙකලාව, තනිකම, ශෝකය හා පැටලිලි සහිත ජීවන චක්‍රය අවසන් ලෙස “දිනිඳු” සමඟ නවතියි. එය යම් දාර්ශනික කියැවීමක් යැයි කිව හැකිය. අපගේ කිසියම් සමාජ කණ්ඩායමක් මේ තත්ත්වයට මුහුණ දෙයි.

1. විවාහ උත්සවය අත ළඟට පැමිණ තිබිය දී බීම වෙනුවෙන් කාලය නාස්ති කිරීම

2. දහවල් වනතුරු මැරුණා සේ නිදාගැනීම

3. දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම

4. මේ දැඩි නිහඬතාව ඔහුගේ අනාගත මනමාලියගේ දැඩි කලබලයට හේතු වී තිබීම

5. පස්වන හේතුව ……. (දක්වා නැත. හිතාගන්නට පුළුවන.)

විවාහ වන පොදු වයස ඉක්මවා සිටින දිනිඳු ගැන ඔහුගේ මව හා හිතවතුන් දක්වන ප්‍රතිචාර ඉතා ශූර ලෙස කතුවරයා නිරූපණය කරයි. ඒ සියල්ලම සත්‍යවාදී වෙයි. දිනිද්‍රිගේ චරිතය අධ්‍යයනය කිරීමෙන් සමාජය ගැනත් ජීවිතය ගැනත් බොහෝ දේවල් හඳුනාගත හැකිය.

“උඹ නිකම් චේ ගුවේරා වගේ රැවුල වවාගත්ත හිත හොඳ බක පණ්ඩිතයෙක් වුණාට උඹේ දේශපාලන මනස පිස්සිගේ පලාමල්ල වගේ, කිසිම නිරවුල් බවක් නෑ. උඹ කිසිම මතයක් දරන්න බැරි සාර සංග්‍රහවාදියෙක්.”

“ඇත්ත ලෝකෙ දේශපාලනේ පවා පිස්සිගේ පලාමල්ල වගේ වුණාම මගේ දේශපාලන මනස විතරක් පිළිවෙළකට තියාගන්නෙ කොහොමද? හැම මතධාරියාම කරන්නේ ඇත්ත ලෝකෙ තියෙන දේවල්වලින් තමන්ගේ මතේට නොගැළපෙන කෑලි බැහැර කරලා තමන්ගේ මතවාදෙ සයිස්එකට අනුව ඇත්ත ලෝකේ කපාගන්න එක නෙමෙයි ද?

(පිටුව <109)

අටවැනි පරිච්ඡේදයෙන් උකහාගත් එම සංවාදයෙන් ලෝක දේශපාලන හා සමාජ යථාර්ථය සම්බන්ධයෙන් හරි ඇත්තක් පැහැදිලි කරගත හැකිය. සුරංග අපේ සමාජයේ ප්‍රේමය විවාහය, දෛනික ජීවිතය ගැන සත්‍ය හරස්කඩක් අප අතට තබන අතර ලෝක දේශපාලන යථාර්ථ්‍යයද සූක්ෂ්ම ලෙස නිරූපණය කරන බවක් පෙනෙයි.

(“ද නිව් ලයිෆ්) “The New life” නවකතාව මේ වසරේ මුල් කාර්තුව තුළ වැඩියෙන්ම කතාබහට ලක් වූ එලෙසම වැඩිම අලෙවි වාර්තා තැබූ ප්‍රබන්ධයකි. එය හැඳින්විය හැක්කේ ආදරය, ලිංගිකත්වය හා අර්බුදය පිළිබඳ නව ප්‍රකාශනයක් හැටියටය. ඉසුරු ප්‍රසංගගේ “සියවැන්නී” නවකතාව ද ආදරය, ලිංගිකත්වය හා දේශපාලන සමාජ – ආර්ථික අර්බුදය පිළිබඳ නව ප්‍රකාශනයක් සේ පෙන්වා දිය හැකිය. වඩා වැදගත් වන්නේ ඔහු මේ කතාව ගොඩනැඟීම සඳහා යොදාගත් නව ආකෘතිය හා ශිල්ප ධර්මය.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x