Friday, July 5, 2024
Home » කිකිළියෙක්වත් නැති බිත්තර මුදලාලි ඔන්න හෙලිකොප්ටරයක් ගන්න යනෝ

කිකිළියෙක්වත් නැති බිත්තර මුදලාලි ඔන්න හෙලිකොප්ටරයක් ගන්න යනෝ

by damith
July 1, 2024 1:10 am 0 comment

ගෙදරට අවශ්‍ය කළමනා මිලදී ගන්නට සති අන්තයේ කඩපොළට ගිය මා කෙළවරක වූ බිත්තර අලෙවිසලට ගොඩ වූයේ බිත්තර 10ක් මිලදී ගැනීමටයි.

සුදු බිත්තර (පොඩි ) 52/- , සුදු බිත්තර (ලොකු ) 55, රතු බිත්තර 58/-….. රාක්කවල බිත්තර මිල ගණන් අලවා තිබිණි. බිත්තර දෙස අවධානය යොමු කරමින් මා ඒවා අත ගා බැලුවේ රන් කිකිළියක දැමූ රන් බිත්තර දැයි සැකහැර ගැනීමටයි. හාල් කිලෝ තුනක පමණ මිල ගෙවා බිත්තර 10ක් මිලදී ගෙන ඉතාමත් පරෙස්සමින් නි‍ෙවසට රැගෙන විත් ශීතකරණයේ දැමූවේ ඒවා කන්නටත් ලොබ සිත් ඇතිවය.

මෙයට දෙවසරකට පෙර ඇතිවුණු බිත්තර හිඟය උග්‍රය. අර්බුදයක් බවට පත් වී මේ වසර ආරම්භ වන විට සමනය වී තිබිණි. බිත්තර හිඟයක් මෙන්ම පසුගිය වසර කිහිපය තුළ රුපියල් 70ක් පමණ මිලකට බිත්තරයක මිල ඉහළ නැංවීමට බිත්තර ව්‍යාපාරිකයන් කටයුතු කළ නිසාත්, බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කළේය. ආනයනික බිත්තර තොග සතොස වෙළෙඳසල් හරහා මුලින්ම රුපියල් 35කටත්, දෙවනවර රුපියල් 42කටත් අලෙවි කරන ලදි.

බිත්තරවල පෝෂණය

දැනට වසර දෙකකට පෙර ‌මෙරට දෛනික බිත්තර පරිභෝජනය මිලියන 07ක් වූ අතර මේ වන විට එය මිලියන 8.5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් අංශ වාර්තා පෙන්වා දෙයි. කොවිඩ් සමයේ දී බිත්තරවල පෝෂණ ගුණය පිළිබඳ ඉතා ඉහළ ලංසුවක් තැබුණු හෙයින් බිත්තර පරිභෝජනය ඉහළ නැංවිණි. පසුගිය වසරේ සිට සංචාරක කර්මාන්තය වර්ධනය වීම තුළ බිත්තර පරිභෝජනය ඉහළ ගිය අතර තරු හෝටල මෙන්ම අනෙක් හෝටල් ද, අවන්හල් වෙතින් ද බිත්තර ඉල්ලුම ඉහළ ගිය නිසා බිත්තර නිෂ්පාදනය ඉහළ යන ලදි. පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට වරින්වර පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙරට ධීවර කර්මාන්තය නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් ඇතිවූ මාළු හිඟයට පිළියමක් වශයෙන් ජනතාව බිත්තර පරිභෝජනය කිරීම නිසා ද බිත්තර මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. එමෙන්ම මෙරට නිෂ්පාදනය කරන බිත්තරවලින් වැඩි ප්‍රමාණයක් බේකරි නිෂ්පාදනය සඳහාද යොදා ගනියි.

මෙයට දෙවසරකට පමණ පෙරදී නම් බිත්තර මිල ඉහළ යන්නට සාධාරණ හේතු තිබිණි. එයින් පළමු වැන්න වූයේ රසායනික පොහොර භාවිතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස සත්ත්ව ආහාර නිපදවීමට පහර වැදීමයි. එය කුකුළු ගොවිපොළවලට ද මරු පහරක්ම වූයේය. 2021 වසරේ එවකට පැවැති රජය රසායනික පොහොර තහනම් කිරීමත් සමඟම සත්ත්ව ආහාර නිෂ්පාදනයට ද පහර එල්ලවුණු අතර ඒ සඳහා යොදා ගන්නා දේශීය වී, බඩ ඉරිඟු සහ වෙනත් ධාන්‍ය අතිරික්තයට ද ‘කණකොකා’ හැඬුවේය. 2021-2022 කාල පරිච්ඡේදයේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රියක් ටොන් ලක්ෂ 06 ක් වුවද සපයා ගත හැකි වූයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 04කි.

මෙවන් ආහාර නිෂ්පාදන හිඟයක් ඇති වූ විට වෙනත් රටවලින් ඒවා ගෙන්වීමේ සාමාන්‍ය ක්‍රමවේදය වුවද ඒ වන විට රටේ උග්‍ර ආර්ථික අර්බුදයක් ඇති වී ඩොලර් ගැටලුවක් ද උද්ගත වී තිබූ බැවින් බඩඉරිඟු ආනයනයට ද රජයට හැකියාව නොතිබිණි. රටට අත්වූ මේ ඉරණම හමුවේ බොහෝ කුකුළු ගොවිපොළ වැසී ගිය අතර එම කුකුළු ගොවිපොළවල සිටි මවු සතුන් ඇතුළු සියලු කුකුළන් මස් පිණිස විකුණා දමන්නට බිත්තර නිෂ්පාදකයන්ට සිදුවිය. එමෙන්ම වසර 2021දී මවු කිකිළියන් 80,000ක් ආනයනය කළ ද 2022දී එය 40,000 දක්වා පහත වැටිණි. මේ නිසා 2023 වසරේදී බිත්තර හිඟයකට මුහුණපෑමේ අවදානමක් රට තුළ මතු වූයේය. ඒ හේතුවෙන් පසුගිය වසරේ පළමු කාර්තුව තුළ මිලියන 220ක් වූ මෙරට බිත්තර නිෂ්පාදනය දෙවන කාර්තුව වන විට මිලියන164 දක්වා පසුබෑමකට ලක්වී තිබිණි.

බිත්තර මා‌ෆියාව

එහෙත් මේ වන විට දැඩි ආර්ථික පීඩාවන් ජයගනිමින්, පණ ගසා පිබිදෙමින් සිටින ශ්‍රී ලංකා ආර්ථීකය තුළ අනෙකුත් නිෂ්පාදනය පරයමින් බිත්තර මිල පමණක් දිනෙන් දින ඉහළ යාම පිළිබඳව පාරිභෝගිකයන්ට ඇත්තේ ගැටලු රාශියකි. බිත්තර වෙළෙඳපොළ සම්බන්ධයෙන් අසන්නට වන පරස්පර කතා විමසුමට ලක් කිරීමේදී පැහැදිලිවම පෙනී යන්නේ බිත්තර නිෂ්පාදකයාගේ සිට සිල්ලර වෙළෙන්දා මෙන්ම පාරිභෝගිකයා අතට පත්වන තෙක් බිත්තරය අතරමැදි ග්‍රහණයට ලක් වන බවයි. ශ්‍රී ලංකාවේ බිත්තර කර්මාන්තයට දායකවන කුකුළු ගොවිපොළ සංඛ්‍යාව 350ක් පමණ වන අතර එයින් මහා පරිමාණ කුකුළු ගොවිපොළ සංඛ්‍යාව 08කි. මේ අතරින් බිත්තර මා‌ෆියාවට ගොදුරුවී නැත්තේ අතළොස්සක් විය හැකිය.

දෛනික බිත්තර පරිභෝජනය මිලියන 08 ඉක්මවා ඇති අතර දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 07ක් ඉක්මවා ඇත. මේ වන විට බිත්තර ආනයනය රජය සම්පූර්ණයෙන්ම නතර කර ඇත්තේ රටේ පරිභෝජනයට අවශ්‍ය බිත්තර රට තුළම ප්‍රමාණවත්ව නිපදවන නිසාය. පසුගිය කාලයේ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය මත වුවද බිත්තර මිලියන 15ක් මාලදිවයින ඇතුළු රටවල් කීපයකට අපනයනය කිරීම ද සිදු කර ඇත. කුකුළු ගොවිපොළවල මවු කිකිළියන්ගේ අවශ්‍යතාව 85,000 සිට 1,29,000 දක්වා වර්ධනය කිරීමට ද කෘෂීකර්ම අමාත්‍යංශ‌ය පියවර ගෙන තිබිණි.

තත්ත්වය මෙසේ තිබියදීත් වෙළෙඳපොළේ බිත්තර හිඟයක් කෘත්‍රිමව නිර්මාණය කරන්නට සැලසුම කරන පිරිසක් පිළිබඳව රජයේ පශු සම්පත් අංශවලට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.පශු සම්පත් අංශවලට අනුව, බිත්තරයක් නිෂ්පාදනය කරන්නට වැය වන්නේ රුපියල් 31ක මුදලකි. එහෙත් එය පාරිභෝගිකයා අතට පත්වන විට රුපියල් 55 ද ඉක්මවයි. මේ අනුව බලන කල බිත්තර ව්‍යාපාරිකයන් අසීමාන්තික ලාභයක් උපයනු ලබයි. බිත්තර නිෂ්පාදකයන් සිටින්නේ වයඹ පළාතේය. බිත්තර නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන මිලදී ගන්නා ව්‍යාපාරිකයන් බහුතරයක් සිටින්නේ එම පළාතෙන් ඈතට වන්නටය. ඔවුන් තොග පිටින් මිලදී ගන්නා බිත්තර සිය පෞද්ගලික ශීත ගබඩාවල රඳවා තබා වෙළෙඳපොළේ බිත්තර හිඟයක් මවා හිතූ හිතූ මිල ගණන්වලට අලෙවි කර අසීමාන්තිකව ලාභ උපයන මාෆියාවක් දැන් බිහිවී ඇත. වයඹ පළාතේ ගොවිපොළවලින් රැස්කර ගන්නා බිත්තර තොග ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති තම පෞද්ගලික ශීත ගබඩාවන් තුළ රඳවා ගන්නා ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනකු මෙම බිත්තර මාෆියාව නිර්මාණය කරන බවට පශු සම්පත් අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබේ. බිත්තර වෙළෙඳුන් පවසන්නේ මෙම ව්‍යාපාරිකයන්ගෙන් එක් අයකු ප්‍රකට දේශපාලනඥයකුගේ ඥාතියකු බවයි. බිත්තර තොග මිල තීරණය කරන මෙම පුද්ගලයාට කුකුළු ගොවිපොළක් තබා අවම වශයෙන් ඔහුගේ නි‍ෙවසේ කුකුළකු හෝ නොමැති බව ද ඔවුහු පවසති.

බිත්තර හිඟය

එමෙන්ම පසුගිය සතියේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණේ දැනට වෙ‌ළෙඳපොළේ බිත්තර මාෆියාවට සම්බන්ධ යැයි කියන මෙම ව්‍යාපාරිකයන්ගෙන් අයකු, බිත්තර අලෙවියෙන් ලැබූ ලාභය කෙතරම් ද යත් ඔහු විසින් හෙලිකොප්ටරයක් ද මිලදී ‌ගෙන ඇති බවයි. ඒම පුද්ගලයා ප්‍රබල දේශපාලනඥයකුට නෑකම් කියන අයකු බව ද අනාවරණය කර තිබිණි.

එමෙන්ම මෙයට සති කිහිපයකට පෙර වාර්තා වූයේ බිත්තර හිඟයක් ඇති කරන්නට සැලසුම් කළ කිසියම් ව්‍යාපාරිකයකු හෝ කණ්ඩායමක් සිය ගබඩාවන්හි තොග ගණන් රැස්කර තිබූ බිත්තර ලක්ෂ ගණනක් පුත්තලම – තබ්බෝව කැලයට ගෙන ගොස් කුඩු කර දමා රහසේම විනාශ කර ඇති බවයි. ගම්මුන්ගෙන් ලද තොරතුරක් මත පොලිසිය විසින් අදාළ කැලය පරික්ෂා කිරීමේදී මෙසේ විනාශ කළ බිත්තර තොග ගණනක් සොයා ගැනීමට හැකිවිය. මෙවැනි මන්ද මානසික තත්ත්වයන්ගෙන් පෙළුණු එම බිත්තර මාෆියාකරුවන් නිකරුණේ එසේ විනාශ කර දැමුවේ අසරණ පාරිභෝගිකයාට තම බත්පතට එක් කර ගැනීමට තිබූ පෝෂණ සම්පතයි.

මෙවන් කූට උපක්‍රම යොදමින් බිත්තර හිඟයක් මවාපාන්නට සැලසුම් සකස් කරන බොහෝ ව්‍යාපාරිකයන්ගේ ප්‍රධානතම කාර්යය බිත්තර නිෂ්පාදකයන්ගෙන් බිත්තර තොග හැකිතාක් මිලදී ගැනීම බව දැන් පැහැදිලිය. ඔවුන්ගේ කුකුළු ගොවිපොළවල බිත්තර වෙ‌ළෙදාම් කරන්නට, විනාශ කරන්නට නොව තොවිල් නටන්නට වුවද තම බිත්තර නිෂ්පාදන මෙම ව්‍යාපාරිකයන් රැගෙන ගියද බිත්තර නිෂ්පාදකයා විරෝධයක් පළ නොකරන්නේ තමන්ගේ නිෂ්පාදනයන්ට සරිලන මිලක් ඔවුන්ට හිමිවන නිසා විය හැකිය. එහෙත් එතැනින් පසු ශීත ගබඩාවලට වී කල්මරණ මෙම බිත්තර තොග, හජ්, නත්තල, අලුත් අවුරුද්ද, ඇතුළු උත්සව සමයට එළියට එන්නේ එම කාලය තුළ දැඩි අවශ්‍යතාවක් පවතින බැවින් කියන ඕනෑම මිලකට බිත්තර මිලදී ගන්නට පාරිභෝගිකයා පසුබට නොවන බව එම ව්‍යාපාරිකයන් හොඳින් දන්නා බැවිනි.

කරුණු මෙසේ හෙයින් මේ බිත්තර මාෆියාවේ සිටින, බිත්තර නිෂ්පාදනයට දායක ද නොවන අදෘශ්‍යමාන බලවේග මර්දනයට රජය ඇතුළු වගකිව යුතු අංශ දැඩි පියවර ගත යුතු කාලය දැන් එළඹ තිබේ. බිත්තර මාෆියාවේ පසුපස සිටින පුද්ගලයන් මහා මන්දිරවල කල්ගෙවමින් එදා මෙන්ම අදත් ගමන් බිමන් සඳහා සුඛෝපභෝගී වාහන යොදා ගනිමින් කල්ගෙවන්නේය. අද ඔවුන් හෙලිකොප්ටරයෙන් ගුවනේ සැරිසරමින් අපේ හිසට ඉහළින් කරණම් ගසන්නේය. හෙට ඔවුන් නැවක් ද මිලදී ගෙන ලොව පුරා නාවුක ගමනේ යෙදෙන්නට ද බැරි නැත. මෙම මාෆියාවේ තටු කඩා නොදමා ඔවුන් මෙසේ ‘අහසින් යන’ විට බිත්තර මිලදී ගන්නට වෙළෙඳපොළට යන පාරිභෝගිකයාට ඒ වෙනුවෙන් සිය පාපැදියත් උකසට තබන්නට වන දිනය වැඩි ඈතක නොවන්නේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x