Home » අසාධ්‍යව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට – “ඩෙවොන් ” යාත්‍රාවේ මරණ ගණන 5 දක්වා ඉහළට

අසාධ්‍යව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට – “ඩෙවොන් ” යාත්‍රාවේ මරණ ගණන 5 දක්වා ඉහළට

by chanaka
June 30, 2024 2:44 pm 0 comment

මුහුදේ පාවෙන බෝතලයක අඩංගු ද්‍රව්‍ය පානය කිරීමෙන් අසාධ්‍ය වූ ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකු මිය යාමෙන් මියගිය සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවක් මඟින් අද (30) උදෑසන මුදවා ගැනීමට සමත්ව තිබුණි.

එහෙත් අසාධ්‍ය වූ ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකු මේ වන විට මිය ගොස් ඇති අතර මියගිය සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

“ඩෙවොන් 5” බහුදින යාත්‍රාවේ මියගිය ධීවරයින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ගිය යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව තිබෙන අතර අදාළ ධීවර යාත්‍රාවේ සිටින ධීවරයින් රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ විජයබාහු නෞකාව පිටත් කර යවා තිබිණි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ, එය අදාළ ධීවර බෝට්ටුව පවතින ස්ථානයට ළඟාවීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇති බවයි.

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙකු රැගත් “ඩෙවොන් 5” නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් ආ බෝතලයක තිබූ දියරයක් පානය කර එය විෂ වී, අසාධ්‍ය තත්වයට පත්ව තිබුණි.

ඉන් ධීවරයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365 ක් පමණ (කිලෝ මීටර් 675 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ආපදාවට පත් ව ඇති එම ධීවරයින් පිරිස වෙත කඩිනමින් වෛද්‍ය ආධාර ලබාදී ගොඩබිමට රැගෙන ඒමට සහාය වන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ඊයේ දහවල් දැනුම් දීමක් සිදු කෙරිණි.

එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහාය වන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ‘MV KOTA CAMIL’ නමැති වෙළෙඳ නෞකාවට උපදෙස් ලබාදීමට කටයුතු කළ අතර, එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකල “ඩෙවොන් 3” නමැති බහුදින ධීවර යාත්‍රාව වෙතද සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කෙරිණි.

අද උදෑසන සිංගප්පුරු නෞකාව විසින් මුදවා ගත් ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබේ. ඒ හේතුවෙන් අනෙක් ධීවරයා වෛද්‍ය ආධාර ලබාදෙමින් මේ වන විට ගොඩබිම දෙසට රැගෙන එමින් සිටින අතර, විජයබාහු නෞකාව මඟින් ඔවුන් භාර ගැනීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x