Home » ඩෙවෝන් යාත්‍රාවේ ධීවරයින් දෙදෙනා සිංගප්පූරු නෞකාවකින් බේරා ගැනේ

ඩෙවෝන් යාත්‍රාවේ ධීවරයින් දෙදෙනා සිංගප්පූරු නෞකාවකින් බේරා ගැනේ

තවත් බෝට්ටු කිහිපයකටත් බෝතල් දීලා

by chanaka
June 30, 2024 10:26 am 0 comment

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් පානය කිරීමෙන් රෝගාතුරවී සිටින ඩෙවෝන් යාත්‍රාවේ ධීවරයින් දෙදෙනා සිංගප්පූරු වෙළද නෞකාවකින් බේරා ගෙන තිබේ.

ඔවුන් මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.

සිංගප්පූරු නෞකාවෙන් බේරාගත් ධීවරයින් දෙදෙනා නාවික හමුදා විජයබාහු නෞකාවට භාරදීමට නියමිතය.

බරපතල ලෙස රෝගාතුරව සිටින ධීවරයින් දෙදෙනාට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ද ආරම්භ කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මුහුදේ පාවී ආ බෝතලයේ තිබූ දියරයක් පානය කිරීමෙන් ඩෙවොන් 5 යාත්‍රාවේ සිටි ධීවරයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය “ඩෙවෝන් 5” නැමැති ධීවර යාත්‍රාවේ ගමන් ගත් ධීවරයින් නාඳුනන දියරයක් අඩංගු බෝතල් කිහිපයක් මුහුදේ පාවෙමින් තිබිය දී ඒවා ගෙන මත්පැන් යැයි උපකල්පනය කර පානය කිරීමෙන් පසු මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි.

කහවත්ත මහතා තවදුරටත් ප්‍රකාශ කළේ මෙතෙක් ලැබී ඇති තොරතුරුවලට අනුව අදාළ ධීවරයින් විසින් මුහුදේ පාවෙමින් තිබූ බෝතල් කිහිපයක් සොයා ගැනීමෙන් පසු ඔවුන් එම බෝතල්වලින් කොටසක් අසලින් ගමන් කළ ධීවර යාත්‍රාවලට බෙදා හැර ඇති බවත්ය. ඒ අනුව මෙම අනෙකුත් බෝට්ටු දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x