Tuesday, July 2, 2024
Home » ජනාධිපති කුසලාන වෝටර්පෝලෝ තරගාවලිය අද සහ හෙට

ජනාධිපති කුසලාන වෝටර්පෝලෝ තරගාවලිය අද සහ හෙට

by gayan
June 29, 2024 1:00 am 0 comment
ශූරතා කුසලානය එළිදක්වමින්. තරුණ සේවා සභා සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් පසිදු ගුණරත්න, යූත් විෂන් 2024 සභාපති සෙනුල දීලන, මේ තරගාලියේ සංවිධායක කමිටුවේ සම සභාපතිවරුන් වන බිනුජ අමරනායක සහ අල්තාෆ් උවයිස් මහත්වරු මෙහි වෙති.

ජාතික තරුණ සේවා සභාව විසින් රාජකීය විදුහල් පිහිනුම් සමාජය සහ යූත් විෂන් 2048 සමඟ එක්ව පළමුවරට සංවිධාන කරන ජනාධිපති කුසලාන වෝටර්පෝලෝ තරගාවලිය අද (29) සහ හෙට (30) දෙදින කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ.

ජලය සම්බන්ධ ක්‍රීඩා ප්‍රචලිත කිරීම, මෙරට තුළ වෝටර්පෝලෝ ක්‍රීඩාව ප්‍රවර්ධනය සහ රට තුළ ජල ක්‍රීඩා ප්‍රමිතිය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා ජලජ ක්‍රීඩා සංගමයේ අනුමැතිය යටතේ සංවිධාන කරන තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400කට අධික සංඛ්‍යාවක් කණ්ඩායම් 31ක් යටතේ එක්වෙති. තරගාවලිය අවුරුදු 13, 17, 19න් පහළ සහ විවෘත ලෙස පැවැත්වේ.

මෙහිදී අවුරුදු 13න් පහළ ඉසව් පළමුවරට පැවැත්වීම විශේෂත්වයක් වන අතර, 17න් පහළ තරග මඟින් ලබන වසරේ පැවැත්වීමට නියමිත ආසියානු වයස් කාණ්ඩ ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමට අවධානය යොමුව තිබේ.

මේ තරගාවලියට පාසල් කණ්ඩායම් ලෙස බිෂොප්, විශාකා, කාන්තා විදුහල, මියුසියස්, ඩී.එස්. සේනානායක, තර්ස්ටන්, නාලන්දා, සා. තෝමස්, සාන්ත ජෝන් සහ රාජකීය විදුහල් නියෝජනය කරමින් කණ්ඩායම් එක් වෙති. ගුවන් හමුදාවෙන් කණ්ඩායම් දෙකක් සමඟ කණ්ඩායම් රැසක් ක්‍රීඩා සමාජ සහ සංවිධාන ලෙස එක්වීමට නියමිතය.

මේ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් පසුගියදා තරුණ සේවා සභා සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් පසිදු ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ සේවා සභාවේදී පැවති අතර, ශූරතා කුසලාන එළිදැක්වීම සහ තරගකරුවන්ගේ නිල ඇඳුම එළි දැක්වීම සිදු කෙරිණි.

ඡායාරූපය – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x