Wednesday, July 3, 2024
Home » ණය ප්‍රතිව්‍යූහගත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට අ.ඩොලර් කෝටි 1,700ක වාසියක් අත් වනවා

ණය ප්‍රතිව්‍යූහගත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට අ.ඩොලර් කෝටි 1,700ක වාසියක් අත් වනවා

by gayan
June 29, 2024 1:00 am 0 comment

ද්වීපාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් කෝටි 1,700ක (අ.ඩො. බිලියන 17ක) පමණ වාසියක් හිමි වන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලී සබ්‍රි මහතා ප්‍රකාශ කරයි. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමටද මේ තත්ත්වය ඉවහල් වන බව ඒ මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“2022 වසරේ අප්‍රේල් මස 12 දා ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු විදේශ ණය යම් ප්‍රමාණයක් ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. ඒ වනවිටත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 600, 700 සහ 1000 දක්වා ඉහළ යන බවට එවක සිටි ඇතැම් පාර්ශ්ව චෝදනා කළා. එහෙත් පසුව අප ඒ තත්ත්වය පාලනය කරගැනීමට සමත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා ලෙස අපට දැනුම් දුන්නා. ඒ සඳහා ලසාඩ් සමාගම අපගේ නියෝජිතයා ලෙසත් නීති උපදේශක ලෙස ක්ලිෆඩ් චාන්ස් සමාගමත් පත් කර ගැනීමට කටයුතු කළා. මෙහිදී අප පළමුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළා. මේ කටයුතු සිදුකරන විටත් අප රටක් ලෙස බහු පාර්ශ්වීය සංවිධානවල ණය ගෙවීමට කටයුතු කළ බව සඳහන් කළ යුතුයි.

“මේ වන විට අප ද්වී පාර්ශ්වීය ණය හිමි රටවල් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සාර්ථකව අවසන් කරගෙන තිබෙනවා. ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එක් වී ද්වීපාර්ශ්වික ණය කළමනාකරණය සඳහා නිල ණයහිමියන්ගේ කමිටුවක් පිහිටුවමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ඊට සමගාමිව චීනය සමඟද අප සාකච්ඡා කළා. මේ සියල්ල අවසානයේ අප සාර්ථක වී ඇති අතර ණය ගෙවීමේ තිරසර තත්ත්වයක් තිබෙන රටක් බවට ද පත්ව සිටිනවා. මේ සාර්ථකත්වය නිසා ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමි වනවා. ඒ වගේම තවත් ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් අප රටට හිමි වනවා. තවද මෙම සාර්ථකත්වය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සිදු වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ඉවහල් වන බව කිව යුතුයි. මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා සිදුවෙනවා. ඒ වගේම සම්පූර්ණ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බව පැවසිය යුතුයි. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95% දක්වා අඩු කරගත යුතුව තිබෙනවා. එසේම දැනට විදේශ ණය සඳහා ගෙවන පොලිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5% දක්වා අඩු කරගත යුතුයි.”

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x