Wednesday, July 3, 2024
Home » සුවහසක් වූ පිළිකා රෝගී දරුවන්ගේ සිත, ගත, මනස සුවපත් කරන සුව අරණ

සුවහසක් වූ පිළිකා රෝගී දරුවන්ගේ සිත, ගත, මනස සුවපත් කරන සුව අරණ

by gayan
June 29, 2024 1:00 am 0 comment

පිළිකාව හා සටන් වදින ආදරණීයයන් හට සහාය වීමේත්, පිළිකාව පරදා ජීවිතේ ජයගත් ආදරණීයයන්ව අගය කිරීමේත්, ජීවිතයට සමුදී මෙලොවින් නික්ම ගිය අපේම මිනිසුන් හට ගෞරවයක් ලබා දීමේත් සහ කිසිම‍ මො‍ෙහාතක පිළිකාවට එරෙහිව සටන් කිරීම අත් නොහැර සටන් කිරීමට සවියක් ව පිටුපසින් සිටීමේත් ඉලක්කයක් ඇතිව ‍ෙගාඩනැඟුණු බලා‍ෙපාරොත්තුවේ නවාතැන්පළ ඉන්දිරා පිළිකා භාරයයි. එලෙසම සුවය ‍ෙග‍ෙනන නිවහනක් යන උදාරතර සිතුවිල්ලත් සමඟින් රටට දායාද කළ සුවයක් සොයන ආදරණීය දරුවන්ගේ නිවහන සුව අරණ 2023 ජූනි මස 29 වන දින දොරගුළු විවර කරවූයේ සුවහසක් පිළිකා රෝගී දරුවන් හා ඔවුන්ගේ පවුල්වල සියල්ලන්ටම තමන් තනිවී නැත යන්න සිතුවිල්ල ද පෙන්වා දෙමින් ය.

ඉන්දිරා පිළිකා භාරය (ලියාපදිංචි අංක 07-47) 2016 වසරේ පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ දියණිය වූ සහ වයස අවුරුදු 40 දී පියයුරු පිළිකා‍ෙවන් 2016 නොවැම්බර් මාසයේදී අභාවප්‍රාප්ත වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය සිහිකරමින් ගොඩනඟන ලදි. ඇය කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ අතර මවක් ලෙස ඇයගේ ධෛර්යය, නිර්භීතකම සහ පරිත්‍යාගය පිළිබඳ කතාව ලොවම සසල කරන ලද එකක් වූයේ මෙලොව එළිය දකින්න සිටි තම ආදරණීය පුතණුවන් වෙනුවෙන් මවක් ලෙස තම දරුවන් වෙනුවෙන් මේ ලෝකයේ කැප කිරීමට නොහැකි දෙයක් නැති බව සනාථ කරමින් තම ජීවිතය පරිත්‍යාග කිරීම නිසාවෙනි. අද වන විට ඉන්දිරා පිළිකා භාරය 1000 කට අධික ස්වේච්ඡා බලකායක් සමඟින් සරණක් අවැසිව සිටින පිළිකා රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කරන සංවිධානයක් බවට නිර්මාණය වී ඇති අතරම ඉන්දිරා ජයසූරිය මහත්මිය මියයන විට ඇය ලැබූ සුව පහසුව අසරණ පිළිකා රෝගීන් හටද ලබා දීමේ අදිටනින් ගොඩනැඟුණු සුව අරණ තුළද ස්වේච්ඡා බලකාය විසින් විශාල කාර්යභාරයක් ඔවුන් විසින්ම ස්වේච්ඡාවෙන් ඉටු කිරීම අගය කළම යුතු දෙයකි.

උස් පහත් භේදයකින් හෝ වයස් භේදයකින් තොරව දිනෙන් දින වැඩි වන පිළිකා රෝගීන් සංඛ්‍යාව දකින විට හිතට දැනෙන්නේ වේදනාත්මක හැඟීමක් වුවද ඔවුන් වැටෙන හැම මොහොතකම නැගිටින්න පිටිවහලක් වෙන්න ඔවුන් පිටුපස සිටිය යුතුයි කියා සිතන විට ඉන්දිරා පිළිකා භාරයේ අපට දැනුණේ ඉතාමත් ධෛර්යවන්ත සිතුවිල්ලකි. ඒ උත්තරීතර සිතුවිල්ල පෙරදැරි කරගෙන තවත් එක් පියවරක් ඉදිරියට තැබූ ඉන්දිරා පිළිකා භාරය පිළිකා රෝගය හා සටන් කරන මල් කැකුළුවන් දරුවන් හට නවාතැනක් නිර්මාණය කිරීමට ආරම්භ කරන්නේ මොහොතකට හෝ ඔවුන්ගේ ජීවිතවලට සතුටක්. සැනසීමක් ළඟා කර දීමට පමණක්ම නොව ඔවුන්ගේ පවුල්වල ආදරණීයයන් හට මේ මිළින වී යන සමහරක් දරුවන් හට තම ආදරය බෙදා දීමට ඉඩ හසර ද සලස්වා දෙමිනි.

අපේක්ෂා රෝහලේ ළමා රෝග ඒකකයේ ඕනෑම මොහොතක ළමුන් 150කට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතරම දරුවන්ගෙන් බහුතරයක් සුවය ලබනවා සේම ඇතැම් දරුවන්ට සහන සත්කාර (ජීවිතයේ අවසන් මොහොතේ ලබා දිය යුතු සත්කාරයන්) ලබා දිය යුතු අවස්ථා ද ඇත. ශ්‍රී ලංකාව තුළ එවැනි පහසුකම් සලසා දීමට ක්‍රියාත්මක වන පළමු වන ව්‍යාපෘතිය ලෙස ඉන්දිරා පිළිකා භාරය විසින් නිර්මාණය කරනු ලැබූ ළමයින් වෙනුවෙන්ම ඉදිකෙරුණු සුව අරණ නිවහන ඔවුන් තවදුරටත් තනි වී නොමැති බවටත්, අසරණ වන්නේ නැති බවටත් පෙන්වා දෙමින් ගොඩනැඟුණේ සියල්ලන්ගේම සහායත් ආශීර්වාදයත් මැදිවය. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ පිළිකා රෝගී දරුවන් සඳහා නවාතැන් පමණක් ලබා දීම නොව ඔවුන් හට මෙන්ම ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා හට ශාරීරික සුවය පමණක් නොව මානසික සුවය ද ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ ඉදිවු ප්‍රථම සහන සත්කාර මධ්‍යස්ථානය මෙය වීමයි. මෙහිදී විශේෂයෙන්ම අපේක්ෂා රෝහල සමඟ ඇති සමීප සහයෝගිතාව සහ රෝහලට සමීපව මෙම නිවහන පිහිටා තිබීම නිසාවෙන්ම මෙම සේවාව රෝගීන්ට මිල කළ නොහැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

ළමුන් සඳහා සහන සත්කාර පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව ළමුන් සඳහා වන සහන සත්කාරය යනු දරුවාගේ ශරීරය, මනස සහ ආත්මීය යන සියලුම පැතිකඩයන්හි පූර්ණ රැකවරණය වන අතර පවුලට සහයෝගය දැක්වීම ද එහි ඇතුළත් වේ. එය රෝග විනිශ්චය කළ විට ආරම්භ වන අතර, දරුවා රෝගයට යොමු වුවද ප්‍රතිකාර ලබා ගන්නේ ද නැද්ද යන්න නොසලකා නොකඩවා සිදු කළ යුතු වේ. දින සති මාස ගණන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලෙහි දරුවා නවත්වා ගැනීම හේතුවෙන්ම රෝගයෙන් පෙළෙන දරුවන්ගේ පවුල් මුහුණ දෙන දුෂ්කරතා බොහොමයක් තිබෙන අතරම මූලික වශයෙන් දරුවාට සහ පවුලේ අයට නවාතැන් සොයා ගැනීමේදී ඇති වන මූල්‍යමය අපහසුතාව ප්‍රධාන තැනක් ගනී. එයට මූලිකම හේතුවක් ලෙස බොහෝ පවුල් දුර බැහැර සිට මහරගම අපේක්ෂා රෝහල සඳහා පැමිණෙන අතරම රෝගී තත්ත්වය අනුව සමහරක් මොහොතකදී සති කිහිපයක් හෝ මාස කිහිපයක් ඔවුන්ට ගත කරන්න වන්නෙ තම රෝගී දරුවන් සමඟ රෝහලේම නිසාත් අධික වියදමක් දරමින් එලෙස ප්‍රතිකාර සඳහා ඔවුන්ට නැවතී සිටීමට නොහැකි වීමත් පෙන්වා දිය හැකිය. එම හේතුව නිසාවෙන්ම බොහෝ කාලයක් තම පවුලේ ආදරණීයයන්ගෙන් ඈත්ව සිටීමට සිදු වීමත් පවුලේ සාමාජික සාමාජිකාවන් දෙතැනකට බෙදී සිටීමට සිදුවීමත් රෝගී දරුවා හට මෙන්ම පවුලේ සියලුම දෙනා හට බොහෝ සේ මානසිකව බලපානු ලබන අතර මෙම සුව අරණ එම සියලුම ගැටලු සඳහා පිළිතුරක් සපයනු ලබයි. එමඟින් දරුවන්ට, ආදරය සහ සහයෝගය සඳහා තම මවුපියන් ළඟ නොසිටීම මෙන්ම තම සහෝදර සහෝදරියන් වෙන්ව සිටීමට අවශ්‍ය නොවන අතර තමන්ගේ ගෙදර සිටිනා ලෙස හැඟීමක් ඔවුන් සියලුම දෙනාට ලබා දීම මෙම සුව අරණෙහි විශේෂත්වය වේ.

සුව අරණ විසින් කිසිදු වියදමකින් තොරව ආහාර පාන ඇතුළු සියලුම සේවාවන් නොමිලේ ලබා දෙන වන අතර රෝහල්ගතව සිටින තම දරුවා අසල රැඳී සිටීමට හැකි වන පරිදි මෙන්ම පවුලේ සියලුම දෙනා හට එකම තැනක සිට දරුවා සමඟ කාලය ගත කිරීමට ද අවශ්‍ය පහසුකම් සලසා දීම මූලිකම අරමුණ වේ. එමෙන්ම මෙම සුව අරණ සංකල්පය ගොඩනඟා ඇත්තේ පවුලක් තම දරුවාගේ සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන විට ඔවුන්ට මුහුණ දීමට සිදුවන කිසිම අභියෝගයක් ඔවුන්ට බාධාවක් නොවිය යුතුය යන අදහස මතය. එනම් ඔවුන් රැඳී සිටින්නේ කොහේද, ඔවුන් ආහාර ගන්නේ කෙලෙස ද හෝ ඔවුන් විවේක ගනිමින් රාත්‍රිය ගෙවා ගන්නේ කෙලෙසකද යන්න සිතමින් සිටීමට නොව, පිළිකා රෝගය හා සටන් කරන දරුවා හට ඔවුන් සවියක් වන්නේ කෙසේද යන්න මෙන්ම පිළිකාව පරදා ඔවුන්ගේ ජීවිත නැවතත් තිබුණ ලෙසටම දිනා ගන්නේ කෙසේද යන්න සිතීමට මංපෙත් විවර කරමින්ය. එවැනි ආදර්ශවත් සංකල්පයක් පෙරදැරි කර ගනිමින් ගොඩනැඟුණ මෙම සුව අරණ දරුවකු රෝහල්ගත වූ විට පවුලේ අයගේ ආදරය සහ සහයෝගය පිළිකාව පමණක් නොව ඕනෑම රෝගයක් සුව කළ හැකි ප්‍රබලම ඖෂධයක් ලෙස බලවත් බව අපි විශ්වාස කරන බැවින්ම මෙය බොහෝ දෙනෙකුගේ ජීවිතයෙහි හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි ද අපි එකහෙළා විශ්වාස කරමු.

සිනහව වියැකී ගිය කුඩා දරුවන්ගේ මුහුණු මෙන්ම බලාපොරොත්තු සිඳී බිඳී ගිය මවුපියන්ගේ ජීවිත මොහොතකින් වෙනස් කිරීමට හැකියාවක් ලැබේ නම් අප ලද මේ මනුෂ්‍යත්වයේ සැබෑ අර්ථය මුළු ලොවකටම පෙන්වා දිය හැකිය. එයට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි. විශ්වාසය හිතේ තබා ගනිමින් ආදරය බෙදන්න. මේ ගොඩනැඟුණ බලාපොරොත්තුවේ නිවහන සුව අරණෙහි එකම අධිෂ්ඨානය එයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x