Wednesday, July 3, 2024
Home » අපි මහපොළොවේ සෑම බිම් අඟලකටම වටිනාකමක් දුන්නා

අපි මහපොළොවේ සෑම බිම් අඟලකටම වටිනාකමක් දුන්නා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by gayan
June 29, 2024 1:00 am 0 comment

මේ මහපොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා (26) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මැදවච්චිය ආසන සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“අපේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. මැදවච්චිය ආසනය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටිනවා. මැදවච්චිය ආසනය කිව්වාම අපේ රටේ දේශපාලනය වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක්. කැබිතිගොල්ලෑව බස් බෝම්බයත් සමඟ එදා තැබූ අධිෂ්ඨානයත් සමඟ ලෝක ඉතිහාසයේ පළමු වරට ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින්ම පරාජය කරන්න මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුණා. මහින්ද මහතාගේ දේශපාලන ජීවිතයේ වෙනසක් වුණා. නව ඒකීය රටක් බවට පත්වුණා. ඊට පෙර හැම නායකයෙක්ම බලයට ආවේ නිදහස ගේන්න. සාම සාකච්ඡා පවත්වන්න. නැතිනම් ගිවිසුම් ගහන්න. එසේ නොමැති නම් 13 වැනි සංශෝධනය ගෙනත් අපි අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා. මහින්ද රාජපක්ෂ මහතා වමේ දේශපාලන නායකයන්ගේ අවුරුදු තිහක් මැතිවරණ වේදිකාවේ ප්‍රධාන පොරොන්දුවක් බවට පත්වුණු ත්‍රස්තවාදය අවසන් කරනවා කියා මේ මව්බිම නිදහස් රටක් බවට පත් කරන්න අවුරුදු හතරක් වැනි කාලයකදී කටයුතු කළා. අපි රට හැදුවා. 2019දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කළේ මහා බලාපොරොත්තු ඇතිවයි. මේ ප්‍රදේශයේ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. කිලෝමීටර් 100,000ක මාර්ග සංවර්ධනය කරන්න පියවර ගත්තා. එදා මහින්ද මහත්තයාට තිබූ ලොකුම චෝදනාවක් තමයි ගම්වල පාරවල් කාපට් කරනවා කියලා. ගමේ පාරේ වැටි වැටී යන දරුවාගේ දුක දන්නේ ගම්වල ඉන්න අම්මා තාත්තා විතරයි. නගරයේ අය ඒක දන්නේ නෑ. නමුත් ඒ අය චෝදනා කළේ ගමේ පාර කාපට් කරන එක අපරාධයක් කියලයි. තවත් කොට්ඨාසයක් හොරා හොරා කියන තැනට ඒක ලඝු කරන්න උත්සාහ කළා. අපි හැමදාම විශ්වාස කරනවා මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෙ. ගොවියා, ධීවරයා, කම්කරුවා ආරක්ෂා කරන්න ඕනෙ. පිටරටින් එන එළවළු පළතුරු වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කරන ආහාර වෙළෙඳපොළට ගේන්න ඕන. ඒ නිසා ගමේ පාරවල් හැදුවා. ආර්ථික මධ්‍යස්ථාන හැදුවා.

ගමේ ගොවියන්ගේ දරුවන්ට උගන්වා තාක්ෂණ පීඨයට යවා ලෝක රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන රැකියාවක් කරන්න පුළුවන් වැඩපිළිවෙළ ආරම්භ කළේ ඒ නිසයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේදී අපි අතින් වැරැදි සිදුවන්න ඇති. නමුත් අපි වගකීමෙන් කියනවා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය කියන එක. අපි එය නවීකරණය කරනවා. තාක්ෂණය සමඟ බද්ධ විය යුතුයි. ඔබේ දරුවාට හොඳ රැකියාවක් කරන්න පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් පරිසරය හදන්න ඕනෙ. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි ළඟ තිබෙනවා. අපි එය ආරම්භ කළා. අවාසනාවට ආණ්ඩුව පෙරළියත් සමඟ අපට ඒක ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා. අපි එතුමාට සහාය දුන්නා. නමුත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන්නේ නෑ. ඇතැම් අණ පනත්වලට සහාය දුන්නත් අපි එකඟ නොවූ කාරණා තිබෙනවා. ඒක අපේ ප්‍රතිපත්තිවලට ගැළපෙන්නේ නෑ.

අරගලයෙන් රට වැටුණු තැනින් ගොඩගන්න අපට වුවමනාව තිබුණා. පෝලිම් ඉවත් කොට විදුලි කප්පාදුව අවසන් කරන්න අවශ්‍ය වුණා. මිල වැඩි කළා. විදුලි උත්පාදනය වැඩි කළේ නෑ. එදා උමා ඔය අවසන් කර තිබුණා නම්, සාම්පූර් බලාගාරය ඉදිකර තිබුණා නම් විදුලිය කපන්න වෙන්නේ නෑ. තෙල් පෝලිම හැදුණාද, හැදෙව්වාද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. නමුත් අපි සහාය දුන්නා. විදේශ රටවලට දරුවන් රැකියා සඳහා යන්නේ නම් ඔවුන් වෘත්තිකයන් බවට පත්කළ යුතුයි. මහින්දෝදය විද්‍යාගාරවලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. දරුවන් අපේක්ෂා කරන තාක්ෂණයත් සමඟ ජනතා සේවය සලසන යුගයක් අපි නිර්මාණය කළ යුතුයි. එවැනි දියුණු ලෝකයක් කරා අපේ රට රැගෙන යන්න අපේක්ෂා කරනවා. ඇතැම් දේශපාලන පක්ෂ දෙපැත්තට බෙදිලා විවාද කරනවා. අපි වැඩ කර පෙන්නපු දේශපාලන බලවේගයක්. අපි වැඩ කර තිබෙනවා. අපට වැඩ කර පුරුදුයි. මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂයක්.

ඒ නිසා අපේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි කියා අපි විශ්වාස කරනවා. මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මේ රටේ දරුවාගේ හෙට දවසේ වගකීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ භාර ගන්නවා කියා වගකීමෙන් කියනවා. ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට අපි මුහුණ දෙන්න සූදානම්. මැතිවරණ කල් දානවාට අපි එකඟ නෑ. මේ රටේ මැතිවරණ සිතියම හකුළන්න ඉඩ දෙන්නේ නෑ. මේ දිස්ත්‍රික්කයට එස්. එම්. චන්ද්‍රසේන මහතා නායකත්වය දෙනවා. අභියෝග මැද මේ දේශපාලන ගමන පැමිණ තිබෙනවා. කෙටි කාලයකදී වාසි පස්සේ දුවන්නේ නැතිව පාක්ෂිකයන් වෙනුවෙන් අපේ කඳවුර ආරක්ෂා කරන්න පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තූතිය පිරිනමනවා. අපි එකතුවෙලා අත්වැල් බැඳගමු. ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයක් ශක්තිමත්ව ජයග්‍රහණය කරන්න කටයුතු කළ යුතුයි. සියලු දෙනාම ඒකරාශී කරගෙන ජයග්‍රාහී මාවතක් කරා යොමු කරන්න අවශ්‍ය නායකත්වය දෙන්න කියා ඉල්ලනවා.“

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා

“පසුගිය කාලයේ අපට ජනතාව සමඟ සම්බන්ධ වෙන්න නොහැකි තත්ත්වයක් තිබුණා. නමුත් අද වන විට අපි ජනතාව ඉදිරියට යනවා. අපි ජනතාව ළඟට යන්න බිය විය යුතු නෑ. පක්ෂයක් ලෙස මේ රටේ ජනතාවටත්, රටටත් විශාල සේවාවක් කර තිබෙනවා. අපේ විශාල පිරිසක් පසුගිය කාලයේ අභියෝග භාරගෙන කටයුතු කළා. පොහොට්ටුවේ හයිය, ශක්තිය මෙතැනදී පෙන්වා තිබෙනවා.”

මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා

“අපි පළමු රැස්වීම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ පැවැත්වුවා. මෙවැනි විශාල පිරිසක් එන්නේ නැතිවෙයි කියා ඇතැමුන් කිව්වා. නමුත් අපි වෙලාවට වැඩ කරනවා. පක්ෂයක් වශයෙන් නිසි අයුරින් කටයුතු කරගෙන යනවා. ඒ අනුව මේ දිස්ත්‍රික්කයේ ආසන 7ක මෙවැනි සම්මේලන සංවිධාන කරන්න සූදානම් වෙනවා. මැදවච්චිය ආසනය දිනා ගන්න ඇතැමුන් සිහින දකිනවා. නමුත් ජනතාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා.”

මන්ත්‍රී වීරසේන ගමගේ, මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත්, උතුරු මැද පළාතේ හිටපු සභාපති පී.එම්.ආර්. සිරිපාල, උතුරු මැද පළාත් සභාවේ හිටපු ඇමැති එච්.බී. සේමසිංහ, හිටපු පළාත් සභා මන්ත්‍රීනි කළ්‍යාණී කරලියද්ද මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – සුදත් නිශාන්ත සහ

අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x