Home » බංග්ලාදේශයේ කාන්තාවන් ගණිකා වෘත්තියට චීනයට අලෙවි කිරීමේ ජාවාරමක්

බංග්ලාදේශයේ කාන්තාවන් ගණිකා වෘත්තියට චීනයට අලෙවි කිරීමේ ජාවාරමක්

by gayan
June 29, 2024 1:00 am 0 comment

බංග්ලාදේශයේ දිළිඳු පවුල්වල කාන්තාවන් ගණිකා වෘත්තිය සඳහා චීනයට ප්‍රවාහනය කිරීමේ සංවිධානාත්මක මිනිස් ජාවාරමක් හෙළි වී ඇතැයි බංග්ලාදේශයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළේය. බංග්ලාදේශයේ ජාවාරම්කරුවන් පිරිසක් විසින් එම මිනිස් ජාවාරම සිදුකරමින් සිටින බවත්, මේ වනවිට එසේ චීනයට යවනු ලැබූ කාන්තාවන් සම්බන්ධව තොරතුරු ලැබෙමින් පවතින බවත් ඩේලි ස්ටාර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. බංග්ලාදේශයේ රැකියා කරමින් සිටින චීන ජාතිකයන් සමඟ විවාහ වීමෙන් පසු එරට පදිංචියට යෑමේ අවස්ථාව ලැබෙන බවත්, අනතුරුව සියලු සැප සම්පත්වලින් පිරුණු ජීවිතයක් ගත කිරීමට ලැබෙන බවටත් කියමින් බංග්ලාදේශයේ දිළිඳු පවුල්වලට අයත් තරුණියන් හා වැන්දඹු කාන්තාවන් චීන තැරව්කරුවන්ට අලෙවි කර ඇතැයි ද වාර්තා වේ. එමඟින් බංග්ලාදේශයේ මිනිස් ජාවාරම්කරුවන් එක් කාන්තාවකගෙන් එරට මුදලින් ටකා ලක්ෂ 10 සිට ලක්ෂ 20 දක්වා (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 26 සිට ලක්ෂ 52 දක්වා මුදලක්) මුදලක් උපයා ගන්නා බවත් හෙළි වී ඇතැයි ඩේලි ස්ටාර් පුවත් සේවය සඳහන් කළේය.

එම ජාවාරම්කරුවන්ට හසු වූ කාන්තාවක් පසුගිය වසරේ ජූලි මාසයේදී සිය දියණිය චීන ජාතිකයකුට විවාහ කර දී ඇතැයි ද, අනතුරුව ඔවුන් චීනයේ පදිංචියට යෑමෙන් පසු ඇය ගණිකා වෘත්තියේ යොදවා ඇතැයි එම තරුණියගේ මව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ල පසුගියදා ඩකා නුවර අධිකරණයේදී විභාගයට ගෙන ඇතැයි වාර්තා වේ. එම මිනිස් ජාවාරම පිළිබඳ බංග්ලාදේශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, බංග්ලාදේශයේ තවත් තරුණියන් පිරිසක් චීනයේ ගණිකා වෘත්තිය සඳහා යොදවා ඇතැයි ද එහිදී අනාවරණය වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x