Friday, July 5, 2024
Home » ජූලියන් අසාන්ජ් නිදහස්

ජූලියන් අසාන්ජ් නිදහස්

by gayan
June 29, 2024 1:00 am 0 comment

ජූලියන් අසාන්ජ් සහ විකිලීක්ස් වෙබ් අඩවිය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා බහ කරනු ලැබුවේ මීට වසර ගණනාවකට පෙරදීය. ඒ ඔහු තමාට අයත් වෙබ් අඩවියෙන් යුද රහස් ලෝකයට හෙළි කළා යැයි යන චෝදනාව මතයි. චෝදනාව කෙසේ වෙතත් විකිලීක්ස් නිර්මාතෘවරයා එය පිළිගනු ලැබීය. ඔහු විසින් ලෝකයට හෙළි කරනු ලැබුවේ එසේ මෙසේ තොරතුරු නොවේ. වෙබ් අඩවියෙන් අනාවරණය කරනු ලැබුවේ අමෙරිකාවේ යුද රහස්ය. ඔහු වරක් 2010 වසරේදී ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිවිල් වැසියන් 18 දෙනකු ඝාතනය කරන රූපරාමු සහිත වීඩියෝවක් නිකුත් කර තිබිණි. එය වීඩියෝගත කර තිබුණේ හෙලිකොප්ටරයක සිටය. මේ ආකාරයෙන්ම රහසිගත තොරතුරු ගණනාවක් ඔහු ඉදිරිපත් කර ඇති අතර ඇෆ්ගනිස්ථානයේ දී අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් සිවිල් වැසියන් සිය ගණන් ඝාතනය කර ඇති බව ද දක්වා තිබිණි.

කවුද මේ අසාන්ජ් ජූලියන්

ඔහු උපත ලැබුවේ 1971 වසරේ ජූලි 03 වැනිදා Julian Paul Hawkins ලෙස ක්වින්ස්ලන්තයේ ටවුන්ස්විල්හීදිය. එහෙත් කුඩා දරුවා ඉපදීමටත් ප්‍රථම මවුපියන් වෙන් වූ අතර, මව තම පුත්‍රයා ඉපදීමෙන් වසරකට පසු බ්‍රෙටි අසාන්ජ් සමඟ විවාහ විය. ජූලියන් පෝල් හෝකින්ස් ජුලියන් අසාන්ජ් ලෙසින් නව නාමකරණයක් සමඟින් ඉදිරිපත් වූයේ එලෙසිනි. එතැන් සිට ජූලියන්, බ්‍රෙටි අසාන්ජ්ගේ වාසගම ලබා ගනිමින් ඔහු තම පියා ලෙසින් සැලකූ නමුත් ජූලියන් අසාන්ජ්ගේ මවගේ දෙවන විවාහය ද අසාර්ථක විය. කුඩා නාට්‍ය සමාගමක් පවත්වාගෙන ගිය නළුවකු වූ බ්‍රෙටි අසාන්ජ් වසර කිහිපයක දීගයකින් පසුව 1979 වසරේදී පමණ දික්කසාද විය. ඉන්පසු ජූලියන් අසාන්ජ්ගේ මව යළිත් තෙවන විවාහයක් කර ගන්නා ලදි.

ඔහුගේ කුඩා කාලය සම්බන්ධයෙන් කියැවෙන්නේ වෙනම කතාවකි. අසාන්ජ් තම කුඩා කාලයේදීම අතිශය කාර්යබහුල පුද්ගලයකු බවට පත් වූයේ විවිධ තැන්වල ජීවත්වීමට සිදුවීමෙනි. ඔහු සම්බන්ධ ලිපි ලේඛනයන්හි සඳහන් වන ආකාරයට කුඩා අසාන්ජ් ඔස්ට්‍රේලියානු නගර තිහකට අධික ප්‍රමාණයක ජීවත් විය. එමෙන්ම ඒ අතරතුර නිවසේදී මෙන්ම පාසල් කිහිපයකම අධ්‍යාපනය ලැබීමට ඔහු යොමු විය. යොවුන් වියේ ආරම්භයත් සමඟම තම සහෝදරයා සහ මව සමඟ මෙල්බර්න්හි පදිංචි වූ අසාන්ජ්, වයස අවුරුදු 17 වන විට තම පෙම්වතිය සමඟ වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගියහ.

පොලිස් අත්අඩංගුවට

ඔහුගේ අධ්‍යාපන කාලය ඇතුළත අසාන්ජ් මධ්‍යම ක්ව්න්සලන්ත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නමුත් උපාධිය සම්පූර්ණ නොකළේය. මේ අතර ඔහු මෙල්බන් විශ්වවිද්‍යාලයට ද සම්බන්ධව අධ්‍යාපනය හැදෑරීය. කෙසේ වෙතත් කුඩා කළ සිටම පරිගණක සම්බන්ධයෙන් වැඩි ළැදියාවක් දැක්වූ අසාන්ජ් මූලිකවම අත ගැසුවේ හැකර්වරයකු වීමේ ක්‍රියාන්විතයටයි. මේ නිසා පොලිසිය විසින් සිටිබෑන්ක්හි ඩොලර් ලක්ෂ පහක් නීති විරෝධීව ලබා ගත්තා යැයි පවසා ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි. ඉන්පසු ඔහුගේ මවගේ නිවෙසේ බඩු භාණ්ඩ ආදිය ද රාජසන්තක කිරීමට කටයුතු කළේය. කොයිහැටි වෙතත් ඔස්ට්‍රේලියානු පුවත්පතක් මෙන්ම The Guardian සඳහන් කර සිටියේ ඔහු හැකර්වරුන් අතර ඉතා දක්ෂතා පෙන්නුම් කරන්නකු විය හැකි බවයි.

1995 වසරේදී ඔස්ට්‍රේලියාවේ පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වූයේය යන චෝදනාව මත ජූලියන් අසාන්ජ්ට සිදු වූයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමටය. එහිදී ඔහුට දඩ නියම වූ අතර, නැවත එවැන්නක් සිදු නොකරන බවට ද ඔහු පොරොන්දු විණි. මේ හේතුවෙන් ඔහුගේ සිරගතවීම වැළකිණි. බහුතරයකගේ කතා බහට ලක් වූ විකිලීක්ස් වෙබ් අඩවිය ඔහු විසින් ආරම්භ කරනු ලැබුවේ 2006 වසරේදීය. මෙම වෙබ් අඩවිය මඟින් දූෂණයන් සම්බන්ධ රහසිගත තොරතුරු‍, යුද අපරාධ, ඔත්තු බැලීම් ආදී තොරතුරු දහස් ගණනින් මුදාහැර ඇති බව පැවසේ.

2019 විකිලීක්ස්

2006 වසරේදී විකිලීක්ස් වෙබ් අඩවිය ආරම්භ කළ ද ඉන් වසර 13ක් ඉක්ම ගිය තැන විකිලීක්ස් වෙබ් අඩවියට මෙන්ම ජූලියන් අසාන්ජ්ට හිතකර කාලසමයක් නොවීය. 2019 වසරේදී ඔහු විසින් යුද පුවත් හෙළිකිරීමත් සමඟ එක්සත් ජනපද අධිකරණයෙන් ප්‍රකාශ කර සිටියේ මෙය අමෙරිකානු ඉතිහාසයේ හෙළිදරව් වුණු විශාලතම රහසිගත හෙළිදරව්ව ලෙසිනි.

වෙබ් අඩවිය තුළ තොරතුරු හෙළිකිරීමේදී සිදුවීම්වලට අදාළ පුද්ගලයන්ගේ නම්ගම් පවා හෙළිකිරීම නිසා ඔවුන් ජීවන අවදානමකට පවා පත්වී ඇති බව අමෙරිකානු නීතිඥයින් විසින් ප්‍රකාශ කර තිබිණි. මේ ආකාරයට අමෙරිකාවේ යුද පුවත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ බරපතළම චෝදනාව වූයේ අමෙරිකානු යුද තොරතුරු සහිත දත්ත උපක්‍රමිකව හෙ අනවසරයෙන් ලබා ගත්තේය යන්නයි. මේ අතරම ඔහුට වැරදි 18කට චෝදනා එල්ල විය.

මේ අවස්ථාවේ අමෙරිකාව විසින් ඔහුව අමෙරිකා එක්සත් ජනපදයට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සූදානම් කළ අතර චෝදනාවන් ඔප්පු වුවහොත් ඔහුට වසර 175ක සිර දඬුවමක් නියමවනු ඇතැයි නීතිඥයෝ ප්‍රකාශ කර සිටියහ.

එතෙක් ඔහු රඳවා සිටියේ අධිආරක්ෂිත බන්ධනාගාරයකය. ඔහුව පළමුවරට අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 වසරේ අප්‍රේල් මාසයේදී ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යා

ලයේදීයි.

අමෙරිකන් අධිකරණයට

කෙසේ වෙතත් අමෙරිකානු යුද රහස් ලොවට හෙළි කළේය යන චෝදනාවට තමා වරදකරු බවට ජුලියන් අසාන්ජ් පිළිගත්තේය. ඔහු වරද පිළිගෙන බෙල්මාෂ් අධිආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි හෙයින් ඔහුට අමෙරිකානු අධිකරණයෙන් දඬුවම් නියම නොකෙරිණි. කුඩා සිර මැදිරියක දින 1901ක් සිටි අසාන්ජ් පසුගියදා ඉන් නිදහස්ව ඔස්ට්‍රේලියානු රජය ලබා දුන් විශේෂ ගුවන් යානයකින් තම මව් දේශය බලා ගියේය. ඔහු අමෙරිකානු ජාතිකයකු වුවත් වැඩි කාලයක් ජීවත්ව සිටියේ ස්වීඩනයේය. මෙම සිදුවීම වූ කාලසමයේදී අමෙරිකාව, ස්වීඩන් රජය සමඟ එක්ව අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් කළ ද ඔහු ඒ වන විටත් සිටියේ එංගලන්තයේය. එසේ ඔහු 2012-2019 කාල සමය දක්වා සිටියේ එක්වදෝර් තානාපති කාර්යාලයේය. එහෙත් තානාපති කාර්යාලයේ නිලධාරින් සමඟ අර්බුද ඇති කිරීමත් සමඟ ඔහුට එහි ආරක්ෂාව නොමැති වුණි. එම නිසා ජූලියන් අසාන්ජ්ට සිදු වූයේ බන්ධනාගාරගත වීමටයි.

අසාන්ජ් ඔස්ට්‍රේලියාවට

අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ප්‍රකාශ කර ඇත්තේ “අසාන්ජ් පිළිබඳව ඔබේ මතය කුමක් වුවත් ඔහුගේ නඩුව බොහෝ කාලයක් තිස්සේ ඇදී ගොස් ඇත. ඔහු දිගටම සිරගත කිරීමෙන් කිසිවක් ලබා ගත නොහැකි අතර අපට ඔහුව ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට අවශ්‍යයයි” යනුවෙන් බවයි.

මෙම නිදහස් වීමත් සමඟ ඉක්වදෝරයේ තානාපති කාර්යාලයේ සේවය කළ Fidel Narvaez ප්‍රකාශ කර සිටියේ අසාන්ජ් නිදහස් කිරීම පිළිබඳව තමා සතුටු වන බවයි. එමෙන්ම ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ වසර 14ක් තිස්සේ ලෝකයේ බලවත්ම රට විසින් ඔහුව පීඩාවට පත් කළ බවත්, ඔහුගේම රට විසින් අසාන්ජ්ව අමතක කර දමා කටයුතු කළ බවත්ය. අසාන්ජ් පසුගිය 25 වැනිදා අමෙරිකානු අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ සයිපෙන් දූපතේදීය.

කොයිහැටි වෙතත් අමෙරිකා එක්සත් ජනපදය සහ අසාන්ජ් අතරේ ඇති වූ මෙම එකඟතාවයට මුල් වූයේ ඔස්ට්‍රේලියානු රජය මඟින් අමෙරිකානු ජනාධිපතිට කළ ඉල්ලීමක ප්‍රතිඵලයකි. ඔවුන් එසේ අමෙරිකාවෙන් ඉල්ලීමක් කළේ පවතින අර්බුදයන් ඉවත දමා ජූලියන් අසාන්ජ්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට කටයුතු සකස් කර දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ජූලියන් අසාන්ජ්ගේ බිරිය වන ස්ටෙලා, පුවත්පත් වාර්තාකරුවන්ට මෙන්ම තම ආධාරකරුවන්ට ප්‍රකාශ කර සිටියේ බයිඩ්න් පරිපාලනය මෙම නින්දිත කටයුත්තෙන් ඈත්විය යුතු බවයි. එමෙන්ම ඇය තවදුරටත් සඳහන් කර සිටියේ මෙම කටයුත්ත සැබෑ කර ගැනීම සඳහා වසර ගණනාවක් තිස්සේ එක් වූ ආධාරකරුවන්ට ස්තූතිවන්ත වන බවයි.

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x