Tuesday, July 2, 2024
Home » ජපානය ශ්‍රී ලංකාවට සහයෝගය දෙන්න සූදානම්

ජපානය ශ්‍රී ලංකාවට සහයෝගය දෙන්න සූදානම්

by chanaka
June 29, 2024 9:04 pm 0 comment

ජපානය ශ්‍රී ලංකාවට සහයෝගය දෙන්න සූදානම් බව දැනටමත් ප්‍රකාශ කර ඇති බවත් දැන් රට ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයට පත්ව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකාර මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මඩකලපුවේදී අද(29) පැවති මාධ්‍ය වැඩමුළුවකට සහභාගි වෙමිනි.

තව පෝය තුනකින් අනුර කුමාර දිසානායක ජනාධිපති වන්නේ නම් ගුරුවරුන් පාරට නොබස්සවා ඉන් අනතුරුව ගුරු වැටුප් වැඩි කිරීමට ඔහුට හැකි බවත්, ජනතා විමුක්ති පෙරමුණ මෙසේ කටයුතු කරන්නේ ෆේස්බුක් සමාජ ජාලයේ මිස මහපොළොවේ ජනාධිපති වීමට අනුර කුමාර දිසානායකට කිසිදා නොහැකි වීම හේතුවෙන් බවත්, අමාත්‍ය මනුෂ නානායකකාර මහතා කියා සිටියේය.

සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ හැසිරීමෙන් සජිත් ප්‍රේමදාස වැට්ටීමේ සැලැස්මක් හෙළි වන බවත්, ආර්ථික විශේෂඥයෙකු වුවද රටට සුබාරංචි එන මොහොතේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාද කටයුතු කරන්නේ රට වැට්ටවීම පිණිස වන බවත්, අමාත්‍යවරයා පැවසීය .

වැඩිදුරටත් වැඩමුළුවේදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මේ රට බංකොලොත් වෙලා තිබුණ රටක්. මේ රට තෙල්, ගෑස්, කෑමබීම, බෙහෙත් නැතුව වැටිලා තිබුණ රටක් වුණේ අපේ රටේ ඩොලර් ප්‍රශ්ණයක් අපිට තිබුණා. ඒ ප්‍රශ්ණෙත් එක්ක අපිට තිබුණ ණය ගෙවාගන්න අපිට බැරි වුණා. ඒ නිසා අපි විසින්ම ප්‍රකාශයට පත් කළා අපි මෙතනින් පස්සේ ණය ගෙවන්නේ නෑ කියලා. ණය ගෙවන්නේ නැති වුණාම අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා.

එතකොට පහුගිය සතිය වෙනකොට අපිට ඒ ණය ගෙවීමේ හැකියාව ගැන තිබුණ ගැටලුව පිළිබඳව සාකච්ඡා කරලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙලා, ඒ වෙනුවෙන් කරන්න ඕන සාකච්ඡා රැසක් සිද්ධ කරලා, බාහිර අපේ ණයකරුවන් සමග සාකච්ඡා කරලා, දේශීය ණයකරුවන් සමග කතා කරලා, දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සිද්ධ කරලා, ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් පැරිස් සමාජය සමග සාකච්ඡා කරලා, ඒ සමග ඉන්න රටවල් එක්ක කතා කරලා අවසානෙදි 26 වැනිදා වෙනකොට ගිවිසුම්ගත වෙන්නට අපිට පුළුවන් වුණා. ඒ එකඟතාවය නිසාම චීන එක්සීම් බැංකුවත් අපිත් සමග ගිවිසුම්ගත වුණා.

ජපානය අපිට සහයෝගය දෙන්න සූදානම් බව දැනටමත් ප්‍රකාශ කරලා. දැන් රට ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වය ඇවිල්ලා තියෙනවා. ඒක රටටම සුබා ආරංචියක්. මේ රටේ ජාති, කුලමල, ආගම් භේදයකින් තොරව රට වැටුණු තැන ඉඳලා ගොඩ එනවා කියන එක මේ රටේ හැම මනුස්සයෙකුටම සුබා ආරංචියක්.

ඒ සුබ ආරංචියට මුලින්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අයි.එම්.එෆ් එකට යනවා කිව්වම ආර්ථික විශේෂඥයන් වෙච්ච හර්ෂ ද සිල්වා කිව්වා ‘අයි.එම්.එෆ් එකට රනිල් ගියාට වැඩක් නෑ’ කියලා. ජනතා විමුක්ති පෙරමුණ කිව්වා ‘අයි.එම්.එෆ් එකට රනිල් ගියාට වැඩක් නෑ, රනිල් වික්‍රමසිංහට ජනමතයක් නෑ, රනිල් වික්‍රමසිංහ ඉන්නේ පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හැටියට’ කියලා. ජනමතයක් නැති ආණ්ඩුවකට අයි.එම්.එෆ් එක සහයෝගය දෙන්නේ නෑ කිව්වා. එහෙම තමයි පළවෙනියෙන්ම රට ඇතුළේ ජනමතයක් හැදුවේ මේ රටට අයි.එම්.එෆ් සහනය හම්බවෙන්නේ නෑ කියලා.

සාකච්ඡා ඉස්සරහට කරගෙන යද්දි ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙනකොට කියන්න පටන්ගත්තා ‘මේ අයට ජනමතයක් නෑ’ කියන එක. ඒක පෙන්නන්න උද්ඝෝෂණ කළා. අයි.එම්.එෆ් වාරිකය හම්බ වෙන්න දවස් කීපයකට ඉස්සෙල්ලා වෘත්තීය සමිති 40ක් ගෙනල්ලා උද්ඝෝෂණයක් පටන්ගත්තා. මේක පටන්ගත්තේ මාර්තු මාසේ 15 වැනිදා. හැබැයි මැයි 22 පළමු වාරිකය හම්බ වුණාම, පළවෙනි ගිවිසුමට ආවම උද්ඝෝෂණත් නතර වුණා. මේක තමයි රටට සුබාරංචියක් එනකොට වළක්වන්න හදන විදිහ. ඊට අමතරව ජාත්‍යන්තරයට කියන්න උත්සාහ කළා ‘රට ඇතුළේ ජනමතයක්, එකඟතාවක් නෑ, මේක කරන්න බෑ’ කියන එක.

රට ඇතුළටත් ඒ විදිහටම කියන්න පටන්ගත්තා. හැබැයි අයි.එම්.එෆ් සංවිධානය වගේම වෙනත් රටවලුත් මේ වෙනුවෙන් කළ යුතු දේ කරන්න පටන්ගත්තා. ජුනි 26 වැනිදා මේ පණිවිඩය ‘සුබාරංචියක් එනවා’ කියලා කියවෙනකොට සමගි ජන බලවේගය එළියට බැස්සා. ‘කොහොමද එහෙම වෙන්නේ, ණය ප්‍රතිව්‍යූහගතකරණය වෙන්නේ, බංකොලොත්භාවයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා බරපතල විදිහට, කුහක විදිහට මාධ්‍යයට ඇවිල්ලා කෑගහන්න පටන්ගත්තා. ටික දවසකට පස්සේ හර්ෂ ද සිල්වා ආයෙත් ඇවිල්ලා කියනවා ‘මේක කරගත්ත එක හොඳයි, ඒ වුණාට අපිට මේක පිළිගන්න බෑ’ කියලා. තාක්ෂණික කරුණු ගැන බොහෝ සෙයින් කියනවා.

මේ උත්සාහ කරන්නේ මේ ලැබුණ ජයග්‍රහණයෙන් ඉස්සරහට යන්න හදන එක වළක්වන්න. ජපාන තානාපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කරනවා ‘ලංකාව ලබා ගත් ප්‍රගතියට සුබ පතනවා, ලංකාව ඉස්සරහට ගෙනියන්න අපි සහයෝගය දෙනවා’ කියන එක. ජපානය නතර කරලා තිබුණ ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු, සැහැල්ලු දුම්රිය සේවය යළි පටන්ගන්නවා කියලා ප්‍රකාශයට පත් කරනවා. නමුත්, ලංකාවේ ආර්ථික කමිටුවල ඉන්න විශේෂඥයෝ කියන, මුදල් කාරක සභාවේ සභාපති වෙච්ච හර්ෂ ද සිල්වා කියනවා ‘එහෙම ජපානේ කිව්වට අපිට ගිවිසුම බලන්න ඕන, ඒක අර කමිටුවට දාන්න ඕන, ඒක බලලා මිසක් පාර්ලිමේන්තුවේ සහයෝගය දෙන්නේ නෑ’ වගේ කතා.

ජපානෙත්, එක්සීම් බැංකුවත්, පැරිස් සමාජයත් එකඟ වුණාට පස්සේත් අපේ රටේ ආර්ථික විශේෂඥයන්ටයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ කතා කියලා, මත හදලා හර්ෂ ද සිල්වා ආර්ථික කමිටුව ඇතුළෙම යන එන මං නැති කරගන්නවා . මේ හරහා සජිත් ප්‍රේමදාස වට්ටවන සැලැස්මක්ද ක්‍රියාත්මක කරනවා. මේ සමගි ජන බලවේගයේ මතයනෙ ප්‍රකාශ කරන්නේ. මෙහෙම කළාම ජනතාව විරුද්ධයි. රටේ ජනතාව සුබාරංචියක් එනකල් බලාගෙන ඉන්නකොට, ඒකට විරුද්ධව මත පල කරනකොට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවේ කෙනෙක් මෙහෙම කියනකොට ඒක පක්ෂයට, සජිත් ප්‍රේමදාසට හානියක්. සජිත් ප්‍රේමදාස ජනාධිපතිකම ගන්න බෑ කියනකොට, හර්ෂ ද සිල්වා කිය කිය හිටියා ‘හා මම ගන්නම් අගමැතිකම’ කියලා. එහෙම යට සැලැස්මක් තියෙනවද දන්නේ නෑ . සජිත් ප්‍රේමදාස වට්ටලා ඉස්සරහට එන්න උවමනාවක් තියෙනවද කියලා. ඒ ගැන අපිට දැන් සැකයක් තියෙනවා.

එතකොට ජනතා විමුක්ති පෙරමුණ 26 වැනිදා මේ සුබාරංචිය එනවා කියලා දැනගන්නකොටම ගුරුවරු ගෙනාවා පාරට. ලොකු ගුරුවරු ප්‍රමාණයක් පාරට ගෙනල්ලා, උද්ඝෝෂණය කරලා 10,000ක් පාසල් වැහුවා කියලා බොහොම සන්තෝසෙන් කිව්වා. නමුත් උතුරු නැගෙනහිර පාසල් වැහුණෙ බොහොම අඩුවෙන්. මේ පළාත්වල මිනිස්සු ඒ අය කියන දේ අහන්නේ නෑ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා, ජෝසප් ස්ටාලින් පෙරේදා හෝ එවැනි දවසක මඩකලපුවටත් ආවා. ඇවිල්ලා හෝටලේක බොහොම සන්තෝස වෙලා හිටියා කියලා ආරංචියි . 10,000ක් පාසල් වහපු එකට. පාසල් දරුවෝ ඉස්කෝලේ නොයවපු එකට. ඒ සන්තෝසෙට මඩකපුවට ඇවිල්ලා සතුට සප්පායම් වුණා කියලා අපිට ආරංචියි.

ඒ අය ගුරුවරු පාරට බස්සලා, රටට එන්න තියෙන සුබාරංචිය වළක්වන්න, රටට එන්න තියෙන දේ කඩාකප්පල් කරන්න උත්සාහ කළා. මේ අය නියෝජනය කරන්නේ ජ.වි.පෙ. ඒ අය තමයි මේ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ. එතකොට ජවිපෙ විශ්වාස කරනව නම් තව පෝය තුන නම් අපි, රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදිහට ඉන්නේ ඊට පස්සේ, අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වෙනවා නම් (ෆේස්බුක් එකේ), ඇයි දෙයියනේ ගුරුවරු ටික පාරට බැස්සුවේ. ගුරුවරු ටික මාස තුනක් ඔහොම තියන් ඉඳලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නේ නැතුව කැමති ගාණට ගුරුවරුන්ට පඩි වැඩි කරන්න තිබුණනේ. එහෙම නොකර ඇයි පාරට බැහැලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නේ. මොකද ඒ අය දන්නවා ෆේස්බුක් එකේ ජනාධිපති වුණාට අනුර කුමාර දිසානායකට මහපොළොවේ ජනාධිපති වෙන්න බෑ කියලා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x