Home » සාමදාන විනිශ්චයකාරවරයන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ඇතුළත් නියෝගවලට අනුමැතිය

සාමදාන විනිශ්චයකාරවරයන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ඇතුළත් නියෝගවලට අනුමැතිය

by chanaka
June 28, 2024 3:12 pm 0 comment

සාමදාන විනිශ්චයකාරවරයන් පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ ආචාරධර්ම පද්ධතිය ඇතුළත් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග දෙකකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා (18) පාර්ලිමේන්තුවේ දී පැවති අවස්ථාවේ දී මේ අනුමතිය ලබා දෙන ලදී.

සාමදාන විනිශ්චයකාරවරුන් අතර සදාචාරාත්මක සහ ආචාරධර්මීය හැසිරීම ප්‍රවර්ධනය කිරීම මගින් ඵලදායී ලෙස යුක්තිය පසිඳලීම ක්‍රියාත්මක කිරීම සහ දූෂිත භාවිතයන් සඳහා වන අවස්ථාවන් තුරන් කිරීම මෙම නියෝගවල අරමුණ වේ.

මෙතෙක් සාමදාන විනිශ්චයකාරවරයන් පත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් මෙන්ම ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳව ද සඳහනක් නොතිබූ බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම එම තනතුර අවභාවිත කිරීමක දී එම පුද්ගලයන් සාමදාන විනිශ්චයකාර ධුරයෙන් ඉවත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොපැවතීම හේතුවෙන් මෙම නියෝග නිකුත් කර ඇති බව ද අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

තව ද, මෙම තනතුරේ ගෞරවය සහ ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහ සාමදාන විනිශ්චයකාරවරයන් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව, සිවිල් නඩු විධාන සංග්‍රහ පනත, ගෙවල් කුලී නීතිය පරිච්ඡින්න කිරීමට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත සහ නිවැසියන් ආරක්ෂා කිරීමට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත පිළිබඳව ද මෙහිදී සාකච්ජා කරන ලදී.

මෙම අවස්ථාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  (නීතිඥ) තලතා අතුකෝරළ, (නීතිඥ) රවුෆ් හකීම්,  දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න,  මුදිතා ප්‍රිශාන්ති,  තවරාජා කලෙයි අරසන් සහ  මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x