Tuesday, July 2, 2024
Home » ඉන්දියාව සමඟ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන අවසන් සටනට
පසුගිය ශූර එංගලන්තය සහ පෙරළිකාර ඇෆ්ගන්වරුන් ගෙදර යවා

ඉන්දියාව සමඟ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන අවසන් සටනට

හෙට ශූරයෝ අපරාජිතව ඉතිහාසයට

by mahesh
June 28, 2024 2:17 am 0 comment
රෝහිත් ශර්මා සහ මාර්කෝ ජනේ­සන්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථාන වෙන් කර ගැනීමට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ඊයේ (27) සමත් විය.

මේ කණඩායම් දෙකම හෙට පැවැත්වෙන අවසන් තරගයට අපරාජිතයන් ලෙස එක්ව සිටීම විශේෂත්වයක් වන අතර, ශූරයන් වන කණ්ඩායමට ඉතිහාසය අලුත් කිරීමේ අවස්ථාවක් හිමි වෙයි. ඒ විස්සයි20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අපරාජිතව ශූරතාව හිමි කරගත් පළමු කණ්ඩායම බවට පත්වෙමිනි. මින් පෙර පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී කිසිදු කණ්ඩායමක් අපරාජිතව ශූරතාව හිමිකර ගැනීමට සමත්ව නැත.

ඉන්දියාව ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පසුගිය ශූර එංගලන්ත පිල ලකුණු 68කින් පරාජය කරමින් අවසන් තරගයට එක්විය.

ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට පිවිසියේ තෙවැනි වරට වන අතර, 2007 වසරේ ශූරයන් වූ ඔවුන් 2014 වසරේ ශ්‍රී ලංකා පිල හමුවේ අනුශූරයන් බවට පත් විය.

දකුණු අප්‍රිකාව ඊයේ (27) පෙරවරුවේ පැවති පළමු තරගයේදී මෙවර තරගාවලියේ පෙරළිකාරයන් වූ ඇෆ්ගනිස්තානය කඩුලු 9කින් පරාජය කරමින් පළමු වරට ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයකට එක්වීමට සමත් විය.

ගයානාහි ප්‍රොවිඩන්ස් පිටියේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තයට ඕවර 16.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණ 103ක් පමණි.

එංගලන්ත පිළිතුරු ඉනිමේදී පිතිකරුවන්ට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණු අතර, ලකුණු 49ක් වන විට ඔවුන්ට කඩුලු 5ක් අහිමි විය. එම පිතිකරුවන්ගෙන් ලකුණු 10 පසු කළේ ජොස් බට්ලර් (23) පමණි.

අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි හැරී බෘෘක් ලකුණු 25ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ජොෆ්රා ආචර් ලකුණු 21ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී කුල්දීප් යාදව් සහ අක්සාර් පටෙල් කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2ක් දවා ගත්තේය. අක්සාර් පටෙල් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් මේ තරගය ආරම්භ කිරීම පැයකට වැඩි කාලයක් පමා වූ අතර, ඉන්දීය ඉනිමේ 9 වැනි ඕවරයේදී යළි වර්ෂාවෙන් බාධා විය. කෙසේ වෙතත් ඕවර සංඛ්‍යාව අඩු නොකර තරගය දිගටම පවත්වා ගෙන යෑමට විනිසුරුවෝ තීරණය කළහ.

ඉන්දීය ඉනිමේ මුළු ලකුණු 40ක් වෙද්දී විරාට් කෝලි (9) සහ රිෂාබ් පාන්ට් (4) දැවී ගිය අතර, සාර්ථක ආරම්භයක් දුන් නායක රෝහිත් ශර්මා ලකුණු 57ක් රැස් කළේ පන්දු 39කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඔහුට අනගි සහායක් දුන් සූර්යකුමාර් යාදව් තෙවැනි කඩුල්ලට ලකුණු 73ක් එක් කළේ පන්දු 50කිනි. ශර්මා දැවී යෑමෙන් එම සබඳතාව නිමා වුවද යාදව් පන්දු 36කින් ලකුණු 47ක් රැස් කළේය. හර්දික් පාණ්ඩ්යා පන්දු 13කින් ලකුණු 23ක් සහ රවින්ද්‍ර ජඩේජා පන්දු 9කින් නොදැවී ලකුණු 17ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 3ක් දවා ගත්තේය.

මේ තරගයේදී පිටියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික රොඩ් ටකර් වාර්තා අතරට එක් වූයේ විස්සයි20 ලෝක කුසලාන තරග වැඩිම සංඛ්‍යාවක් (46) විනිශ්චය කළ විනිසුරු ලෙසිනි. මින් පෙර අලීම් ඩාර් තරග 45කදී විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබිණි.

ඉන්දියාව – 171/7 (ඕවර 20) රෝහිත් ශර්මා 57, සූර්යකුමාර් යාදව් 47, හර්දික් පාණ්ඩ්යා 23 (ක්‍රිස් ජෝර්ඩන් 37/3)

එංගලන්තය – 103 (ඕවර 16.4) හැරී බෘෘක් 25, ජොස් බට්ලර් 23, ජොෆ්රා ආචර් 21 (කුල්දීප් යාදව් 19/3, අක්සාර් පටෙල් 23/3, ජස්ප්‍රීට් බුම්රා 12/2)

දකුණු අප්‍රිකානුවන්ගේ අවාසනාවට තිත

ඊයේ පෙරවරුවේ පැවති තරගය ජය ගනිමින් ක්‍රිකට් පිටියේ අවාසනාවට තිත තැබීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

ක්‍රිකට් පිටියේ අවාසනාවන්ත කණ්ඩායමක් ලෙස හැඳින්වෙන දකුණු අප්‍රිකාවට මින් පෙර අවස්ථා 7කදී අවසන් තරගයට එක්වීමේ අවස්ථා අහිමිව ගොස් තිබේ.

2009 සහ 2014 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සමඟ ලෝක කුසලාන තරගාවලි 7කදී ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබුණ ද ඉන් තරග 6ක් පරාජය වී ඇති අතර, තරගයක් ලකුණු සමවීමෙන් (1999) නිමා වී තිබේ. එහිදී සුපිරි වටයේ ප්‍රසාද ලකුණු අනුව ඔස්ට්‍රේලියාව අවසන් තරගයට ගොස් ඇත්තේ දකුණු අප්‍රිකාව ඉවතට ඇද දමමිනි.

ට්‍රිනිඩෑඩ්හිදී ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානයට ඕවර 11.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 56ක් පමණි. ජයග්‍රාහී ඉලක්කය ඕවර 8.5කදී පසුකළ දකුණු අප්‍රිකාවට එක් කඩුල්ලක් අහිමි විය.

මේ තරගය විස්සයි20 පිටියේදී ඇෆ්ගනිස්තානය දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙන්ම දකුණු අප්‍රිකාව ප්‍රතිවාදී කණ්ඩායමක් සීමා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් විය.

එමෙන්ම අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමි කණ්ඩායමක් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර, විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද විය. මින් පෙර 2021 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව්වන් හමුවේ එංගලන්තය ලකුණු 55කට දැවී ගොස් තිබිණි.

පිළිතුරු ඉනිමේදී ක්වින්ටන් ඩි කොක් ලකුණු 5කට දැවී ගිය අතර, රීසා හෙන්ඩ්‍රික්ස් නොදැවී ලකුණු 29ක් සහ ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 23ක් රැස් කරමින් දකුණු අප්‍රිකානු ජය තහවුරු කළහ. අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 10ක් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

පන්දු යැවීමේදී ටබ්‍රයිස් ශම්ෂි සහ මාර්කෝ ජනේසන් කඩුලු 3 බැගින් ද ඇන්රිච් නොර්ට්ජේ සහ කගීසෝ රබාඩා කඩුලු 2 බැගින් ද දවා ගත්හ.

ඇෆ්ගනිස්තානය – 56 (ඕවර 11.5) අස්මතුල්ලාහ් ඔමර්සායි 10 (ටබ්‍රයිස් ශම්ෂි 6/3, මාර්කෝ ජනේසන් 16/3, ඇන්රිච් නොර්ට්ජේ 7/2, කගීසෝ රබාඩා 14/2)

දකුණු අප්‍රිකාව – 60/1 (ඕවර 8.5) රීසා හෙන්ඩ්‍රික්ස් නොදැවී 29, ඒඩ්න් මාක්‍රම් නොදැවී 23

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x