ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේ ශ්‍රී ලංගම බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මිය ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බත්තරමුල්ල රුහුණුපුර රොබට් ගුණවර්ධන මාවතේ අංක 237 / A හි පදිංචි විතානගේ සෝමදාස කුරේ නමැති (68) හැවිරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශ්‍රාමික නිලධාරියෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා විශ්‍රාම යාමෙන් අනතුරුව ආරක්ෂිත කැමරා පද්ධති සවි කරන ආයතනයක් පවත්වාගෙන යමින් ඊට අවශ්‍ය උපකරණ තොගයක් පංචිකාවත්ත ප්‍රදේශයේ වෙළෙඳ සලකින් රැගෙන යළි නිවසට එමින් සිටියදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේ පෙරළී ගොස් විරුද්ධ දෙසින් ධාවනය වෙමින් තිබූ හෝමාගම ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබුණි.
පසුව අනතුරින් තුවාල ලැබූ පැදිකරු ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මෙසේ මියගොස් තිබේ.
පසුව සිද්ධිය වූ ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැමිණ ස්ථානීය පරීක්‍ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය.
ඒ අනුව දේහය අයි.ඩී.එච්. රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇති අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගියදා (25) සිදු කිරීමට නියමිතව තිබුණි.
අනතුරට සම්බන්ධ බස් රථය සහ රියැදුරු අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ පො.සැ. (69625) ගැමුණු නිලධාරියා පරීක්‍ෂණ පවත්වයි.