Home » මහියංගණය මෘදුකාංග ඉංජිනේරුවාට රට ගමන් තහනම්
රාජ්‍ය බැංකුවක නමින් ව්‍යාජ SMS යැවූ

මහියංගණය මෘදුකාංග ඉංජිනේරුවාට රට ගමන් තහනම්

by mahesh
June 28, 2024 1:00 am 0 comment

නිමන්ති රණසිංහ

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක නාමයෙන් ව්‍යාජ කෙටි පණිවිඩ හරහා පුද්ගලයන් රැවටූ බව කියන මහියංගණය ප්‍රදේශයේ තරුණ මෘදුකාංග ඉංජිනේරුවරයකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (37) නියෝගයක් නිකුත් කළේය.

මේ වන විට විදෙස්ගතව සිටින මෙම සැකකරු මෙරටට පැමිණීමේදී වහාම අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයා වෙත නියෝග කළේය.

මෙලෙස විදේස ගමන් තහනම් කෙරුණේ මහියංගණය ප්‍රදේශයේ පදිංචිව සිට මේ වන විට විදෙස්ගතව සිටින විසිහත් හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයෙකි.

තමන් සේවය නියුතු රාජ්‍ය බැංකුවේ නාමයෙන් ව්‍යාජ කෙටි පණිවිඩ (එස්.එම්.එස්.) මඟින් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකට යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ එම රජ්‍ය බැංකුවේ තොරතුරු තාක්ෂණ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයකු විසිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිල්මිණි මෙන්ඩිස් නිලධාරිනිය විසිනි.

අදාළ රාජ්‍ය බැංකුවේ කොබෙයිගනේ ශාඛාවේ ව්‍යාපාරිකයකුට 2022 වසරේ මැයි මස 27 වැනිදා ලක්ෂ 17ක බිත්තර ඇණවුමක් ලැබී ඇති බවට සඳහන් කරමින් බැංකුවේ නමින් එස්.එම්.එස්. පණිවිඩයක් යොමු කර ඇති බවත් පසුව එම ව්‍යාපාරිකයා තම බැංකුවට පැමිණ විමසීමේදී එවැනි පණිවිඩයක් බැංකුවෙන් යවා නැති බවට කරුණු අනාවරණය කරගත් බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පසුව එවැනි ආකාරයේම එස්.එම්.එස්. පණිවිඩ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය බැංකුවේ අනෙකුත් බැංකු ශාඛාවලින් ද පැමිණිලි ගලා එමින් තිබූ බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට පැමිණිල්ල ඉල්ලා තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව සිදු කළ විමර්ශනයේදී මෙම සැකකරු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගත් බවත් මේ වන විට මොහු මෙරටින් පලා ගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් මෙම සැකකරු නැවත ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කරමින් නඩුව බහා තැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT