Sunday, April 20, 2025
Home » හොරණ රෝහලේ විශේෂඥ දොස්තරගෙන් ජීවක පරපුරටම ආදර්ශයක්
ඉංගිරියේ රිය අනතුරෙන් බරපතළ තුවාල ලැබූ රෝගියා බේරාගැනීමට කැප වූ

හොරණ රෝහලේ විශේෂඥ දොස්තරගෙන් ජීවක පරපුරටම ආදර්ශයක්

by mahesh
June 28, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ ඉංගිරිය ප්‍රියදර්ශනී කහවල ගල්පාත - චන්දන පෙරේරා
මියගිය පුද්ගලයාගේ දිවි බේරාගැනීමට උත්සාහ දැරූ වෛද්‍යවරයා සහ අනතුරට පත් ටිපර් රථය

– මහණ වෙන්න ගිය තිදෙනාගෙන් අයෙක් මරුට 

ඉංගිරිය නාච්චිමලේ අසපුවක මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි තිදෙනකු ගමන්ගත් ටිපර් රථය ඉංගිරිය පාදුක්ක මාර්ගයේ ශාන්ත පීතර හන්දිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ අට කලම්පන්න නඳුන්ඇල්ල පොතුවිල් පාර පදිංචිව සිටි එන්.ඒ. කසුන් සමීර උපශාන්ත නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර වන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි හොරණ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ඉසුරු ගයාන් අබේවර්ධන මහතා සිය ගමන නතර කර මෝටර් රථයෙන් බැස එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන් සමග එක්ව ටිපර් රථයට කානුව අතර සිර වී බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා පිටතට ගෙන ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා කෘත්‍රිම ශ්වසනය ලබා දී දැඩි උත්සාහයක් ගෙන අනතුරුව රෝගියා රැගෙන පැමිණි වෑන් රථයේ නැග ඉංගිරිය රෝහල කරාද පැමිණ එහිදී මූලික ප්‍රතිකාර ලබාදී අනතුරුව හොරණ මූලික රෝහල කරාද රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි. එලෙස රැගෙනා රෝගියාගේ දිවි බේරා ගැනීම සඳහා එම වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් දැඩි උත්සාහ ගත්තද ඔහු මියගිය බව පොලිසිය සඳහන් කරයි. තුවාල ලද අනෙක් පුද්ගලයා රියැදුරු ලෙස කටයුතු කළ අය බව පොලිසිය කියයි. අනතුරට පත් ටිපර් රථය ආපදා රථයකින් පොලිසිය වෙත රැගෙන ඒමේදී මහ ඉංගිරිය ප්‍රදේශයේදී නවතා තිබූ තීරෝද රථයක ගැටී එහි අසුන්ගෙන සිටි ත්‍රී රෝද රථ රියදුරුද තුවාල ලබා ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව බව පොලිසිය කියයි.

අසපුවට පූජා කරන ලද බව කියන ටිපර් රථයකින් මියගිය අය තවත් දෙදෙනකු සමග පාදුක්ක දෙසට යමින් සිටියදී ශාන්ත පීතර හන්දිය පසුකර මීටර් පනහක් පමණ ඉදිරියට යෑමේදී ටිපර් රථය මාර්ගයෙන් වම් අත දිශාවට ඇදී ගොස් පස් කන්ඩියක ගැටී ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ සමගම ටිපර් රථය දකුණු දෙසට හැරී මාර්ගය හරහා යාමේදී ඉදිරිපස වම් අත දිශාවේ අසුන්ගෙන සිටි මිය ගිය පුද්ගලයා ඉදිරිපස වීදුරුවේ ගැටී එයත් සමගම මාර්ගයට වැටී ඇති අතර, ඔහු සමඟ ඉදිරියට මීටර් පහළොවක් පමණ දකුණු දිසාවට ඇදී ගිය ටිපර් රථයේ ඉදිරිපස කොටස කානුවක වැටී නතර වී තිබූ බව පොලිසිය කියයි. ටිපර් රථයේ රියැදුරු ඇතුළු ඉදිරිපස ගමන් ගත් කිසිදු පුද්ගලයකු ආරක්ෂක පටි පැළඳ නොසිටීම හේතුවෙන් මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ සිදු කිරීමට නියමිතය.

ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රපාල මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලකරත්න පොලිස් සැරයන් 39530සමන් පොලිස් කොස්තාපල් 79039 ලහිරු මහත්වරු පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT