අප කරන දෙයින් රටට සමාජයට වන සියලු දේ ගැන බැලිය යුතුයි
– සණස විශ්වවිශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි
ගුරු අරගලය කළ යුත්තේ දරුවන්ට හානි නොවන විදියටයි
– අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ මධ්‍යම පළාත් විධායක සභික දොරගමුවේ සද්ධාතිස්ස හිමි
දේශපාලනය කරන ගුරු සංගම් නායකයන් ‘ගෝ හෝම්!’ කියා එළවන දිනය වැඩි ඈතක නෑ
– ‘ජාතික ගුරු බලය’ ජාතික සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක අ.මු.තු. බණ්ඩාර
සමාජය අප දෙස බලා සිටිනවා අනාගත පරපුරට අප දෙන ආදර්ශය කුමක්ද?
– ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආචාර්ය රවින්ද්‍ර මනතුංග
සාමාන්‍ය ජනතාවට වැටහෙන දේ උගත් ගුරුවරුන්ට තේරෙන්නේ නැද්ද?
– අශෝක හේරත්, මහනුවර පියෙක්
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෘත්තීය අරගලවලට පිවිසීමේදී තම වෘත්තීය ගෞරවයට හානියක් සිදු නොවන ආකාරයට කටයුතු කළ යුතු බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඈත අතීතයේ පටන් සමාජයේ ගෞරවයට අභිමානයට නිතැතින්ම ලක් වන ගුරුවරු දෙවිවරුන් ලෙස පිදුම් ලබති. එවන් බුහුමන් ලබන පිරිසක් තම දීමනා ඉල්ලා පසුගිය දිනවල කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දෙස බොහෝ පිරිසක් බලා සිටින්නේ කිසියම් අපුලකිනි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන මහා සංඝරත්නය, ගුරුවරුන් හා මවුපියන් දිනමිණට අදහස් දැක්වූයේ මෙලෙසිනි:
‘ජාතික ගුරු බලය’ ජාතික සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක අ.මු.තු. බණ්ඩාර-
“ගුරුවරුන් ඉදිරියට දමා දේශපාලනය කරන ගුරු සංගම් නායකයන් ‘ගෝ හෝම්!’ කියා එළවාදමන දිනය වැඩි ඈතක නෑ. ගුරුවරුන් කොටුව දුම්රියපොළ ළඟට ගෙන්වන්නේ දුම්රිය ස්ථානාධිපති අධ්‍යාපන ඇමැති කියලා හිතාගෙනද! තම වෘත්තීය අයිතිවාසිකම වෙනුවෙන් සටන් කර එම සටන් වෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ අවභාවිත වන අයුරු බලා සිටි අප පවතින ගුරු සංගම් කෙරෙහි කලකිරුණු ගුරුවරුන් සමූහයකින් ‘ජාතික ගුරු බලය’ හැදුවා. ‘ජාතික ගුරු බලය’ පෙනී සිටින්නේ ගුරුවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්. අපේ සංගමයේ සාමාජිකයන් කිසිවකු වෘත්තීය සමිති වෙනුවෙන් රාජකාරි නිවාඩු ගෙන නෑ. අද වන විට රටේ බොහෝ ගුරු සංගම් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා අවසන්. මේ අයගේ අරමුණ ඔවුන්ට දේශපාලන බලය ලබාගැනීම. එදා ජනතාව පාරට බැහැලා ‘ගෝඨා ගෝ හෝම්’ කිවුවා වගේ මේ ගුරු සංගම් නියෝජිතයන්ටත් දැන් ‘ගෝ හෝම්! ගෝ ටෙම්පල්!’ කියන්න දැන් ගුරුවරුන් ලෑස්තියි. එතෙක් නොසිට බැහැලා යන්න කියල අප ඔය හණමිටි ගුරු සංගම් නියෝජිතයන්ට කියනවා.
“මේ ගුරු සංගම් ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳෙනවාට කැමැති නැහැ. ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳුණොත් මේ ගුරු සංගම් නයා නැති අහිගුණ්ටිකයාගේ තත්ත්වයට වැටෙනවා. 1997 සිට 2020 දක්වා ගුරුවරුන්ගේ මේ වැටුප් ගැටලුව විසඳන්න අවංක වුවමනාවක් කාටවත් තිබුණේ නැහැ. මේ ගුරු සංගම් එදා සිටම කළේ දේශපාලන ඩීල් එකක්. එකයි මේ ගැටලුව විසඳන්න මෙපමණ කලක් ගියේ. මේ සාම්ප්‍රදායික දේශපාලන ඩීල් දාගෙන ඉන්න ගුරු සංගම්වලින් තමන්ගේ ගැටලුවලට විසඳුමක් නොලැබෙන බව දැන් ගුරුවරු අවබෝධ කරගෙන අවසානයි. ”
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ මධ්‍යම පළාත් විධායක සභික දොරගමුවේ සද්ධාතිස්ස හිමි-
“දිගු කාලයක් තිස්සේ අපට දිය යුතු ගුරු විදුහල්පති වැටුප් ගෙවීම් දිය යුතුයි. ඒත් ඒ සඳහා මහපාරේ අරගල වුවමනාවක් නැහැ. ඉල්ලීම් දිනාගන්න අප එකට වැඩ කළ යුතුයි. ඒත් දේශපාලනය වෙනයි. ඉල්ලීම් දිනාගැනීමේ අරගල වෙනයි. ඒ අරගල දඩමීමා කරගෙන දේශපාලනය කරන එක වැරදියි. දේශපාලනය සඳහා ගුරුවරුන්ගේ ඉල්ලීම් පටලවා නොගත යුතුයි. ගුරුවරුන් කලක් තිස්සේ කරන හිඟ දීමනා ලබාගැනීමේ අරගලය දරුවන්ට හානි නොවන පරිදි, දේශපාලන අරමුණුවලින් තොරව සිදු කළ යුතුයි. එහෙත් ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට විසඳුම් දිය යුතුමයි.”
ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති, සණස විශ්වවිශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි-
“ආර්ථික අර්බුද උග්‍ර අවස්ථාවේ රටේ සියලු දෙනා තරාතිරම අමතක කොට ඉන් ගොඩ ඒමට විශාල කැප කිරීම් කළා; දුක් වින්දා. යම් සහනයක් ආර්ථිකයට ලැබුණු සැණින් බලවතුන් සහන ගැනීමට කටයුුතු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම රක්ෂණය වැඩි කරගත්තා. මේ වගේ විවිධ වරප්‍රදාස ඉක්මනින් ගන්න ගත් වැරදි තීරණය අද දවසේ සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ගුරුවරුත් තමන්ට දීමනා ඉල්ලනවා. මේ අන්දමට පොදු මහජනතාව නැවත තමන් වෙත එල්ල වන පීඩා අවම කරගැනීමට රජයට බල කරමින් වැඩ වර්ජන සිදු කිරීමට පෙලඹී තිබෙනවා. මේ ක්‍රියා දෙකම වැරදියි. වැරදි ක්‍රියා දෙකකින් නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බෑ. අද දවසේ අපේ රටේ සිදු වී තිබෙන්නේත් එයයි. ඉතිහාසයේ පටන් සිදු වැරදිවලට මේ අවස්ථාවේ ඉක්මන් විසඳුම් බලාපොරොත්තු වීම නොකළ යුත්තක්. මේ අවස්ථාව සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු මොහොතක්. කවුරුත් රට වෙනුවෙන් සිටිය යුතුයි. ආර්ථික අර්බුදය උග්‍ර අවස්ථාවෙන් තාමත් අපි මිදී නැහැ. මේ නිසා මේ මොහොතේ ඉල්ලීමක් දිනාගැනීමේදීත්, වරප්‍රසාදයක් ගැනීමේදීත් දෙවරක් සිතා බැලිය යුතුයි. අප කරන දෙයින් රටට සමාජයට වන සියලු දේ ගැන බැලිය යුතුයි. ඒක අමතක කරන්න හොඳ නෑ.”
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආචාර්ය රවින්ද්‍ර මනතුංග-
“අප ජීවත් වන්නේ 21 වැනි සියවසේ. අප අපේ ප්‍රශ්නවලට විසඳීමට ක්‍රියා කළ යුත්තේ මේ යුගයේ සිටයි. ගුරු විදුහල්පති විෂමතා දුරු කිරීමට අපේ ඉල්ලීම් දිනාගැනීමට යල් පැන ගිය ක්‍රම අනුගමනය නොකළ යුතුයි. අප අපේ ප්‍රශ්නවලට වෘත්තීය වේදින් ලෙස විසඳුම් සෙවිය යුතුයි. මහ පාරේ අරගල කිරීමෙන් පලක් නෑ, ඉන් හානියට පත්වන්නේ අපේ කීර්තියයි. ගුරුවරුන් පිළිබඳ සමාජයේ තිබෙන ආකල්ප ගෞරවය භක්තිය නැති කර නොගත යුතුය. අප යම් උද්ඝෝෂණයක් ඉල්ලීමක් දිනාගැනීමට කටයුතු කිරීමේදී දෙවරක් සිටිය යුතුයි. අප කරන වැඩ දෙස සමාජය බලා සිටිනවා. අනාගත පරපුරට අප දෙන ආදර්ශය කුමක්ද? ගුරුවරයා හෑල්ලුවට වීමට ඉඩ නොතැබිය යුතුයි.”
අශෝක හේරත්, මහනුවර පියෙක්-
“ගුරු විදුහල්පතිවරුන් මේ අවස්ථාවේ දීමනා ඉල්ලා අරගල කරන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන්. ඇත්තටම අපේ රට උග්‍ර ආර්ථික අර්බුදයෙන් මිදී යම් ගමනක් යෑමට පටන් ගත්තා විතරයි. ඒ ගමන සාර්ථකව යෑමට නම් තව කාලයක් ඉවසා සිටිය යුතුයි. රට දැන් තිබෙන ආර්ථික තත්ත්වයෙන් කිසිම අයකුට වැඩිපුර දීමනා සහ ගෙවීම් දීමට හැකියාවක් නෑ. එය රටේ සාමාන්‍ය ජනතාව පවා දන්නා කරුණක්. සාමාන්‍ය ජනතාවට වැටහෙන දේ උගත් බුද්ධිමත් කියාගන්නා ගුරුවරු විදුහල්පතිවරුන්ට තේරෙන්නේ නැද්දැයි ප්‍රශ්නයක්.”