ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය අවම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති පියවර ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය ඇගයීමට ලක් කර ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා (18) රැස්වූ අවස්ථාවේදී මෙලෙස ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් තිබේද යන්න සහ සෞඛ්‍ය සේවක ස්ථාන මාරු ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කිරීමට මේ රැස්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සහ සෞඛ්‍ය සේවා
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කැඳවා තිබිණ.
පසුගිය කාලයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය අඩුවී ඇති බව දිවයිනේ විවිධ රෝහල්වල කළ සමීක්ෂණයකින් තහවුරු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී පෙන්වා දුන්නේය. ඇතැම් රෝහල්වල ඖෂධ හිඟය පවතින්නේ ගබඩා පහසුකම්, බෙදාහැරීම සහ ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් බවද ඔවුහු පෙන්වා දුන්හ.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳ ප්‍රතිපත්ති හේතුවෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් වැඩිදුර පුහුණුව සඳහා විදේශගත වන වෛද්‍යවරුන් යළි සිය රටට නොපැමිණෙන බවත් කමිටුවේ දී සාකච්ඡා කෙරිණි. මේ හේතුවෙන් බොහෝ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ට අතිකාල සේවයේ යෙදීමට සිදුවී ඇති අතර එබැවින් පිටස්තර දිස්ත්‍රික්කවල සේවය සඳහා යොදවා ඇති වෛද්‍යවරුන්ට අමතර දීමනා ලබාදීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක්විය. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටි සංසදයේ සභාපතිවරයා ඖෂධ හිඟය අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සිදු කරන මෙහෙය ඇගයීමට ලක් කළේය. වෛද්‍යවරුන් රට හැර යෑමෙන් සිදුවන පාඩු වළක්වා ගැනීමට විශේෂ ගෙවීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවද කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.
රාජ්‍ය ඇමැති වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.