ලද ඔත්තුවකට අනුව කසිප්පු තිප්පොළක් වැටලීමට ගිය කැකිරාව පොලිසියේ පොලිස් නිලධාරීන් හත් දෙනෙකු හා කසිප්පු ජාවාරමා බඹර ප්‍රහාරයකට ලක්ව පෙරේදා (26) වැනිදා සවස් යාමයේ කැකිරාව රෝහලට ඇතුළත්කොට තිබේ.
කැකිරාව පොලිස් වසමේ ඔලොම්බෑව ප්‍රදේශයේ කලාවැව වැව් රක්ෂිතයේ කසිප්පු පෙරන බවට ලද තොරතුරකට අනුව මෙදින උදේ 10.00ට පමණ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එම ස්ථානය වැටලීම සඳහා පළමුව ගොස් ඇත. ඒ වන විට ඔවුන් කසිප්පු බැරල් දෙකකට ගින්දර දමමින් පෙරන්නට සූදානම් වන අයුරු දැක එම ස්ථානය වැටලීම සඳහා තවත් පොලිස් නිලධාරීන් එහි කැඳවා තිබේ. සියලු දෙනා එක්ව කසිප්පු පෙරන තෙක් අවට සැඟවී සිටියදී ගසක තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහර දීමෙන් බඹරු ඇවිස්සී ඇති බවත්, සවස 2.00ට පමණ බඹරු පන්න පන්නා දෂ්ට කිරීම නිසා වෙස් වළාගෙන සිටි පොලිස් නිලධාරින් කලා වැවට හා අවට තිබූ මස්තාන් ඇළට පැන බොහෝ වේලාවක් වතුරේ සිට දිවි බේරා ගෙන කෙසේ හෝ එම ස්ථානය වටලා පෙරන ලද කසිප්පු ස්ප්‍රීතූ මිලිලීටර් 4700ක ප්‍රමාණයක කෑන් දෙකක්, දඟර දෙකක් සමඟින් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අතර එහි සිටි තවත් පිරිසක් පලාගිය බවත් පොලිසිය සඳහන් කරයි.
පසුව පොලිස් ස්ථානය කරා පැමිණි අයගෙන් බඹර ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් හත් දෙනෙකු හා අත්අඩංගුවට ගත් සැකකරුවාට ද බඹරු දෂ්ට කර ඇති බැවින් ඔහුද පොලිස් ඇප මත මුදා හරිමින් කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගත්තේය. රෝහල්ගත කළ පොලිස් නිලධාරීන්ගෙන් පස් දෙනෙකු පෙරේදා (26) රාත්‍රියේදී ප්‍රතිකාර ගෙන පිටවී ගොස් ඇත. තවත් දෙදෙනෙකු ඊයේ (27) උදේ වරුව වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් සේවකයෙක් පැවසීය. අත්අඩංගුවට ගත් කසිප්පු තොගය හා සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.