Home » මහාධිකරණයට සහ විනිසුරුවරුන්ට සමාජ මාධ්‍යයෙන් වීඩියෝවක් මුදාහැර අපහාස කළ අජිත් ධර්මපාල ගැන වාර්තාවක් දෙන්න

මහාධිකරණයට සහ විනිසුරුවරුන්ට සමාජ මාධ්‍යයෙන් වීඩියෝවක් මුදාහැර අපහාස කළ අජිත් ධර්මපාල ගැන වාර්තාවක් දෙන්න

රජයේ රස පරීක්ෂකවරයාට නියෝග

by mahesh
June 28, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

මහාධිකරණයට සහ විනිසුරුවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් අපහාස කිරීමේ සිද්ධියට අදාළව දැනට එංගලන්තයේ පදිංචිව සිටින අජිත් ධර්මපාල යන අය එම නමින්ම එංගලන්තයට ගොස් තිබේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා රජයේ රස පරීක්ෂකවරයාට ඊයේ (27) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

සැකකරු සල්ලාල මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හෙරොයින් තොගයක් සොරකම් කරයි යන සිරස්තලයෙන් නිකුත් කරන ලද වීඩියෝවක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයේ වැඩිදුර වාර්තාවක් අධීකරණයට ඉදිරිපත් කළ පොලිසිය කියා සිටියේ ඔහු මේ සිද්ධියේ දෙවන සැකකරු ලෙස නම් කරන බවය.

මහනුවර කුණ්ඩසාලේ පදිංචි සැකකරු ආනන්දලාල් ධර්මපාල අජිත් ධර්මපාල ලෙස විදේශගතව සිටින බවද කී පොලිසිය ආගමන විගමන පාලකවරයාගෙන් ලද තොරතුරු රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරිමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණ භාරයේ තිබූ හෙරොයින් තොගයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා කෙසෙල්වත්ත පොලිසියට සිදු කළ පැමිණිල්ලක් ප්‍රකාරව විමර්ශනයක් සිදු කරන බවද දන්වා සිටි පොලිසිය මහාධිකරණ විනිසුරුවරයා පොලිස්පතිවරයාට ලිඛිතව සිදු කළ පැමිණිල්ලක් ප්‍රකාරව ද පරිගණක අපරාධ අංශය විසින් විමර්ශනයක් සිදු කරන බව ද අධිකරණයට දන්වා සිටියේය.

එම වීඩියෝව අනූපම එරංජිත් යන අය එය මෙරට Lanka Truth වෙබ් අඩවියේ සහ Cyber News.lk මෙන්ම SL දේශය වෙබ් අඩවියේද මෙම වීඩියෝව විකාශය කර ඇති බව විමර්ශන අනාවරණය කර ඇති බව අධිකරණයට දන්වා සිටි පොලිසිය ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ Meta Flatfoam මඟින් තොරතුරු ලබා ගත් බව ද අධිකරණයට දන්වා සිටියේය.

තම සේවා දායකයා එම ප්‍රකාශය නැවත විකාශය කිරිමක් පමණක් සිදු කර ඇති බව සැකකාර අනූපම එරංජිත් යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් බවත් මාස දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි බවත් නීතිඥ මඬුල්ල එම වීඩියෝවට අදාළ සම්පූර්ණ ප්‍රකශය පූර්වගාමී විනිසුරුවරයාට පොලිසිය විසින් ඉදිරිපත් නොකළ බවත් කියා සිටි අතර මේ නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවත් කීවේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් මස 11 වැනි දින කරුණු දක්වන ලෙස පොලිසියට නියෝග කළේය.

ඇප මත මුදාහැර ඇති අනූපම එරංජිත් යන අය නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT