Monday, April 21, 2025
Home » ඇමැති පවිත්‍රාගේ ගැසට් නිවේදනය වහාම අත්හිටුවන්න අතුරු නියෝගයක්
ඉස්සන් ගොවිපොළකට වෙඩිතලතිව් රක්ෂිතයේ හෙක්ටයාර් 168ක් නිදහස් කිරීම

ඇමැති පවිත්‍රාගේ ගැසට් නිවේදනය වහාම අත්හිටුවන්න අතුරු නියෝගයක්

by mahesh
June 28, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

ඉස්සන් ගොවිපොළක් ඇති කිරීම සඳහා විල්පත්තු ප්‍රදේශය ආශ්‍රිතව වෙඩිතලතිව් රක්ෂිත ප්‍රදේශයෙන් හෙක්ටයාර් 168ක් නිදහස් කරමින් වනජීවී ඇමැති පවිත්‍රා වන්නාරච්චි මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) අතුරු නියෝගයක් නිකුත් කළේය. එම රක්ෂිත ප්‍රදේශය නිදහස් කිරීමට එරෙහිව වනජීවී ආරක්‍ෂණ සංගමය සහ පාරිසරික පදනම ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

පෙත්සම් විභාගය අවසන් වන තෙක් මෙම අතුරු තහනම් නියෝගය බලපැවැත්වේ. පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නියෝග කරමින් වගඋත්තරකාර ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදි. ප්‍රීතිපද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදි. මෙම පෙත්සම් නොවැම්බර් 12 වැනි දින විභාගයට ගැනීමට ද දින නියම කෙරිණි. වනජීවි ආරක්ෂණ සංගමය සහ පාරිසරික පදනම විසින් ගොනුකොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර සංවිධාන වෙනුවෙන් නීතිඥ නිරුෂාන් සිරිමාන්න සහ නීතිඥ දේශානි ගුණතිලක, නීතිඥ රුක්ෂාන් සේනාධිර සමඟ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රජීව් ගුණරත්න මහතා පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT