Home » පැරිස් සමාජයේ සහ චීනයේ ණය සහනය නැඟී සිටීම සඳහා අත්වැලක්

පැරිස් සමාජයේ සහ චීනයේ ණය සහනය නැඟී සිටීම සඳහා අත්වැලක්

by mahesh
June 28, 2024 1:00 am 0 comment
කැලණිය විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නවරත්න බණ්ඩා

– ආදායම් මට්ටම් අනුව බදු පදනම වෙනස් කරන්න ඕන
– කොවිඩ් වසංගත සමයේ 170%කට උද්ධමනය ඉහළ ගියා
– තානාපති සේවයට ඒ පිළිබඳ ප්‍රවීණයන් ඕනෑ
– විදේශ රැකියාවලට යවන්න ඕනෑ, පුහුණු ශ්‍රමිකයන්

මෙරට ආර්ථිකයේ ප්‍රකෘතිය උදා කර ගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළිනි. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳි පීඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමකි. ඉකුත්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට අවධාරණය කළේ ද ඒ වගමය එසේම IMF මූල්‍යාධාර ඔස්සේ රටේ ආර්ථිකය ගොඩනැඟුණේ කෙසේ ද යන්නත් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳවත් කැලණිය විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නවරත්න බණ්ඩා මහතා සමඟ සිදු කළ සංවාදයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගත්තා නම් අපේ රටට මොකක්ද වෙන්නේ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවලා තියෙන්නේ ඔවුන්ගේ සාමාජික රටවල ඇතිවන කෙටිකාලීන මූල්‍ය ගැටලුවලට විසඳුම් ලබාදීමටයි. ලංකාවත් එම අරමුදලේ සාමාජිකයෙක්. අපේ රටේ මූල්‍ය අර්බුදයක් හට ගත්ත නිසා අපිට IMF එකට යන්න වුණා. ඇත්තටම අපි IMF ගියේ අන්තිම අඩියට වැටුණට පස්සේ. ඒත් IMF යන්න කියලා බොහෝ පිරිස් ප්‍රකාශ කළා. සුදුසුම අවස්ථාවේ අපි ගියා නම් ඔවුන් මේ තරම් කොන්දේසි දාන්නේ නෑ. අපි අන්තිම අඩියට වැටුණට පස්සේ ගියාම වෙලා තියෙන්නේ දාන්න පුළුවන් උපරිම කොන්දේසි දාලා තමයි අපිට ණය දුන්නේ. වැට් බද්ද 18%ක් වුණා. සෘජු බදු 36%ක් දක්වා වැඩි කළා. ඒ හරහා හැමකෙනාම පීඩාවට පත්වෙලා තියෙනවා. අපිට ණය දෙන රටවලට සහතිකයක් ලබාදීම තමයි ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම හරහා බලාපොරොත්තු වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන බිලියන 2.9ක මූල්‍ය පැකේජයෙන් මේ වන විට ලැබුණු මුදල් ප්‍රයෝජනවත් දේවල්වල යොදවලා තියෙනව ද කියන කාරණය පිළිබඳ ගැටලුවක් තියෙනවා. පළවැනි වාරිකය අරගෙන කළේ ඉන්දියාවේ ණය ගෙවපු එක. ණයක් අරගෙන ණයක් ගෙවීම තමයි කරලා තියෙන්නේ. ඒ ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. මේ වන විට අපි බිලියන 80-100ක් ණය වෙලා තියෙන්නේ. ඒකට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න ණයත් එකතු වෙනවා.

IMF තුන්වැනි වාරිකය ලැබීම සහ ඔවුන් යෝජනා කළ ඉලක්ක සපුරා ගැනීම ගැන සතුටු විය හැකි ද?

ඔවුන් ඉලක්ක කියලා ලබා දුන්නේ රජයේ ආදායම වැඩි කර ගැනීමයි. IMF ගියත් නැතත් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම අපේ කාර්යයක්. මොවුන් මුලින්ම සිදු කළේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා බදු වැඩි කිරීම. වක්‍ර බදු වැඩි කිරීම හරහා ආදායම වැඩි කරගත්තා. මේ නිසා පීඩාවට පත්ව තියෙන්නේ මහජනතාවයි. IMF කොන්දේසි ටික අපි ඉටුකළා. ඒත් ජනතාවට වන හානිය පිළිබඳ කවුරුවත් එතරම් වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ජනතාවගෙන් අය කර ගත්ත බදු මුදල්වලින් මොනවද කළේ. කියන කාරණය පිළිබඳ ජනතාව තුළ යම් සැකයක් තිබෙනවා. ආණ්ඩුව ජනතාවට සහල් ආදී විවිධ ද්‍රව්‍ය බෙදා දෙනවා. ඒත් ඊට වඩා වැදගත් වෙන්නේ, එකතු කරගත් බදුමුදල්වලින් කුමක් හෝ ආයෝජන කටයුත්තක් කිරීමයි. මිනිස්සුන්ට මාළුවෙක් ලබා දෙනවා වෙනුවට බිලි පිත්තක් ලබාදීමයි කළ යුත්තේ. ඇත්තටම අපි ලබා ගන්න ණයවලින් ජනතාවට රැකියා උත්පාදනය කළ හැකි මාර්ගවල ආයෝජනය කළ යුතුයි. රජයට ආදායම ඇත්තටම වැඩි කරගන්න ඕනේ නම් අලුතින් බදු හඳුන්වා දෙනවා වෙනුවට බදු පදනම වෙනස් කරන්න ඕන. රටේ බොහෝ පිරිසක් සිටිනවා බදු නොගෙවන. ඔවුන්ගෙන් බදු අය කර ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ.

IMF වැනි මූල්‍ය ආයතන සමඟ කටයුතු කරමින් මෙවැනි ආර්ථික අර්බුදවලින් නැවත යථා තත්ත්වයට පත්වීමට වෙනත් රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ග ඒ රටවල් දියුණු වීමට කෙසේ බලපෑවා ද?

IMF ගියා කියලා කිසිම රටක් දියුණු වෙලා නෑ. IMF යෑම හරහා ඒ රටවලට යම් සහනයක් ලැබිලා තියෙනවා. ඉන්දියාව වගේ රටවලුත් ණය ලබා ගන්නවා. ඔවුන් ලබාගන්නා ණය නිවැරදි දෙයට ආයෝජනය කරලා තියෙනවා. අපේ රට මූල්‍ය අරමුදලෙන් ලබාගත් පළමුවැනි වාරිකයෙන් සිදු කළේ ණය ගෙවීමයි. බොහෝ රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් ලබා ගන්නා ණයවලින් සිදු කරන්නේ ඔවුන්ගේ රටවල ආයෝජන ඇති කිරීමයි. ඒත් අප සිදු කරන්නේ ණයෙන් ණය ගෙවීමයි. ඉතාලිය වගේ රටවල් ණය ලබා ගැනීම හරහා නැත්තටම නැති වුණා. මේ නිසා ඔවුන් ණය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. මැලේසියාවේ මහතීර් මොහොමඩ්ටත් රට ආර්ථික වශයෙන් වැටුණට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීමට සූදානම් වුණා. ඒත් ඔවුන් එම ණය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. රටේම විද්වත්,උගත් පිරිස් ගෙන්නලා ඔවුන්ගෙන් අදහස් ගත්තා, අපි දැන් මොනවද කරන්න ඕනේ කියලා. ඔවුන් ප්‍රකාශ කළා අපේ රට සංවර්ධනය කරන්න ඕනේ අපේ ස්වශක්තිය තුළින් කියලා. රටක දේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් නම් ණය මත යැපීමට අවශ්‍ය වෙන්නේ නෑ. රටක ආර්ථිකය ශක්තිමත් වීමට නම් ආනයන ආදේශක කර්මාන්ත ඒ රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ.

මෙරට උද්ධමනය අඩු වීමට IMF යෝජනා බලපෑවේ කොහොමද?

2020, 2021 වසරවල තිබුණු කොවිඩ් වසංගත තත්ත්වය නිසා සහ 2022 වසරේ පැවැති ආර්ථික අර්බුදය නිසා රටේ භාණ්ඩ මිල ඉහළ ගියා. මේ නිසා උද්ධමනය ඉහළ අගයක් ගත්තා. පොහොර සහනාධාරය ලබා නොදීම සහ එකවරම කාබනික පොහොර සඳහා යොමුවීම, රසායනික පොහොර තහනම් කිරීම ආදිය නිසා කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. ඒ වගේම ලබාගත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ නිෂ්පාදනය කඩා වැටුණා. මේ නිසා රටේ භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමක් සිදු වුණා. කොවිඩ් වසංගතය නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටුණා, විදේශ රැකියා අහිමි වුණා. මේ නිසා රටට ලැබුණු විදේශ ආදායම අහිමි වුණා. ඒත් ආර්ථිකය යම්තාක් දුරට වර්ධනය වීමත් සමඟ මේවා යථා තත්ත්වයට පත්වුණා. ණය ගැනීම වරදක් නෙවෙයි. ඒත් ඒ ණය නිසි ප්‍රතිලාභ ලැබීම සඳහා ආයෝජනය වනවාද කියන කාරණය පිළිබඳ ගැටලුවක් තිබෙනවා. කොවිඩ් වසංගත සමයේ 170%ක අගයකට උද්ධමනය ඉහළ ගියා. ඒත් මේ වනවිට භාණ්ඩ නිෂ්පාදනය ඉහළ යෑම නිසා උද්ධමනය අඩු වී තිබෙනවා.

පැරිස් සමාජයේ සහ චීනයේ එක්සීම් බැංකුවේ ණය වාරික ගෙවීම 2028 වර්ෂය දක්වා කල් දැමීම පිළිබඳ සමාජය තුළ සුබවාදී චිත්‍රයක් ඇතිව තිබෙනවා. තවත් පිරිස් ප්‍රතිවිරුද්ධ අදහස් පළ වෙනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකි ද?

පැරිස් සමාජයේ ණය වාරික ගෙවීම සහ චීන ණය ගෙවීම කලකට නවතා දැමීම මඟින් අප රටට තාවකාලිකව යම් සහනයක් අත් කර ගැනීමට හැකියාව ලැබුණා. එහෙත් මේ ණය වාරික නවතා දැමීමක් නොවෙයි සිදු වෙන්නේ. යම් කාලයකට ණය වාරික ගෙවීම නැවතීම නිසා අප පසුගිය කාලයේදී මුහුණ දුන් අපහසුතා යම් පමණකට විසඳා ගැනීමට ලැබුණත් එය ස්ථිර සහනයක් නොවෙයි. එහෙත් දැඩි ලෙස සිරවී සිටි තත්ත්වයක් තුළ මෙම ණය වාරික ගෙවීම කල් දමා ගැනීම තුළ අපට යම් සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවීමට වගබලා ගන්නේ කෙසේද?

ප්‍රධානම වශයෙන්ම දේශීය වශයෙන් ආර්ථික සංවර්ධනයක් ඇතිකරගන්න ඕනේ. ඇත්තටම අපි කෘෂිකාර්මික රටක් විදිහට ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඒ වගේම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත දියුණු කරගන්න ඕනේ. මහා පරිමාණ කර්මාන්ත අපිට දියුණු කරන්න බැරි නම් විදේශ රටවල තියෙන කර්මාන්තවල කොටස් අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ජපානයේ නිෂ්පාදනය කරන කාර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලා ආරම්භ කරන්න පුළුවන්. මීට අමතරව සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි. විවිධ රටවල අපේ රටේ තානාපති කාර්යාල තිබෙනවා. ඔවුන්ට වගකීමක් තිබෙනවා අපේ රටේ සුන්දරත්වය ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට.

අනෙක, ආර්ථික වශයෙන් අපි නැගිටින්න නම් ලෝකය ඉදිරියේ අපේ රට ප්‍රවර්ධනය කරන්න ඕනේ. මැතිවරණයක් ආසන්නයේ මේ සියලුම දේවල් කතා කරනවා. ඒත් මැතිවරණය අවසාන වීමෙන් පසුව කිසි කෙනෙක් ඒ පිළිබඳ අවධානය දෙන්නේ නෑ. රටේ සංවර්ධනය ඇති කිරීමට අවංකව කටයුතු කරන පිරිසක් පත්කර ගන්න පුළුවන්නම් මේ රට සංවර්ධනය කරන්න පුළුවන්.ඒ සඳහා අවශ්‍ය මානව සම්පත අපේ රට තුළ තියෙනවා.

වඩාත් කාර්යක්ෂම සහ අපනයන මූලික කරගත් ආර්ථිකයකට අප ගමන් කරන්නේ කොහොමද ?

අපි ඉස්සර තේ, පොල්, රබර්, ඇඟලුම්, නිෂ්පාදන, මැණික් වර්ග අපනයනය කළා. අපනයන කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් රජය විසින් ලබාදෙන්න ඕනේ. බොහෝ අවස්ථාවල රජයන් තෝරා ගත් සමහර ව්‍යාපාරිකයන්ට පමණක් අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. අපිට දකින්න ලැබෙනවා. කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තයේ සිට විශාල කර්මාන්ත දක්වා අපනයන කර්මාන්ත සිදු කරනවා නම් ඒ හැම කෙනාටම සහන සපයන්න ඕනේ. හැමදාම යවපු රටවලට අපනයන භාණ්ඩ යවනවාට වඩා තානාපති සේවාව සම්බන්ධ කර ගනිමින් වෙනත් රටවල් සඳහා ද එම අපනයන යැවීමට කටයුතු කළ යුතු වෙනවා. ඒ පිළිබඳ අධ්‍යයනයන් සහ සොයා බැලීම් තානාපති සේවාව හරහා කළ යුතුයි. ඒ සඳහා රටවල් අතර ඇතිකර ගන්නා වෙළෙඳ ගිවිසුම් අපට උපයෝගි කරගන්න පුළුවන්. අපේ රටේ මැණික්,අපේ රටේ කුළුබඩු,අපේ රටේ ඇඟලුම් නිෂ්පාදන,අපේ රටේ කෘෂි නිෂ්පාදන ලෝකේ රටවල ප්‍රවර්ධනය කරන්න ඕනේ. ඒ හරහා අපට වෙ‍ෙළඳපොළ අත්පත් කරගන්න පුළුවන්. ඒ ඔස්සේ අපිට අපනයන ආර්ථිකයකට යන්න පුළුවන් මාර්ගය විවර කරගන්න පුළුවන් වෙනවා. අපේ රටේ වසරකට කොච්චර එළවළු විනාශ වෙනව ද, කොච්චර පලතුරු විනාශ වෙනව ද, ඒවා අපනයනය කරන්න ක්‍රමවේදයක් සකස් කරනවා නම් අපේ අපනයන කර්මාන්තය දියුණු කරගන්න පුළුවන්.

අපේ ආර්ථිකය ඔසවා තබන්නට ඔබ කරන යෝජනා මොනවාද?

අපේ ආර්ථිකය ඔසවා තබන්න නම් සිදුකළ යුතු පළමු කාර්යය වන්නේ අපේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමයි. අපි ඇත්තටම පාන් කන ජාතියක්නේ. දෙවේලක්ම අපි කන්නේ පාන්. ඇයි අපිට බත් කන ජාතියක් හදන්න බැරි. මූලික වශයෙන් අපේ මනස වෙනස් කරන්න ඕනේ. මුලින්ම දේශීය ආහාර පරිභෝජනයට හුරු කරන්න ඕනේ. අපි එළවළු, පලතුරු කන්න පුරුදු කරන්න ඕනේ. රටින් ගෙන්වන ඇපල් ගෙඩියක් කනවා වෙනුවට අපේ රටේ වැවෙන ගස්ලබු ගෙඩියක් කන්න බැරි ඇයි? මේවා පාසල තුළින්ම පුරුදු කරන්න ඕන කාරණා. ඒ වගේම ගොවියා කියන කෙනා ඉහළන්ම තබන්න ඕනේ. ගොවියා කියන්නේ පහළ කෙනෙක් නෙවෙයි. ගොවියාට මීට වඩා තැනක් ලබා දෙනවා නම් ඇත්තටම හොඳයි. මීට අමතරව අපි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කරන්න ඕනේ. ලංකාවේ 40% ක් සේවා නියුක්ත වෙලා ඉන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට නම් මේ කුඩා හා පරිමාණ කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ. මහා පරිමාණ කර්මාන්ත අපේ රටේ ආරම්භ කරන්නට ආර්ථික ශක්තියක් නැත්නම් රජය හා පෞද්ගලික අංශය එක්ව කර්මාන්ත ආරම්භ කරන්න පුළුවන්. මීළඟට සංචාරක කර්මාන්තය අනිවාර්යයෙන්ම වැඩි දියුණු කළ යුතු වෙනවා. ලෝකයේ රටවල් එක්ක ගත්තාම අපේ රට ඇත්තටම පාරාදීසයක්. පුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම හරහා ඒ රටවලදී ඔවුන්ට තිබෙන අවදානම අඩුවෙනවා. මේ කියන කාරණා සියල්ල නිසි පරිදි ඉටු වෙනවා නම් ඇත්තටම මේ රට සංවර්ධනය කරන්න පුළුවන්.

රුවන් පුෂ්ප කුමාර 
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, 
කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x