Home » වියළි සොයන්නේ ආදරයයි

වියළි සොයන්නේ ආදරයයි

වියළි අධ්‍යක්ෂ චන්දන ඉරුගල් බණ්ඩාර

by mahesh
June 28, 2024 1:00 am 0 comment

සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනියෙන් අපූරු කලා රසයක් රැගෙන වියළි ටෙලි සිත්තම ඔබේ ආලින්දයේ දිග හැරෙයි. අපේ මේ කතා බහ වියළි ටෙලි සිත්තමේ නිර්මාණකරු හෙවත් අධ්‍යක්ෂ චන්දන ඉරුගල් බණ්ඩාර සමඟයි.

ඔබ ගැන කෙටි හැඳින්වීමක් දෙන්න?   

මම ඉපදුණෙ කුරුණෑගල, මහව, ඉපලෝගම කියන ගමේ. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ 08 දෙනෙක්. මම පවුලේ 07 වැනි දරුවා. මව්පියෝ හොඳ ගොවියෝ. ඒ අය දැන් ජීවතුන් අතර නෑ. ඒ දවස්වල අපේ තාත්තලා, බාප්පලා එකතුවෙලා සඳකිඳුරු කෝලම කළා. අයියලා සඳකිඳුරට රඟපෑවා. පසුකාලීනව මමත් පටාචාරා වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. මට ටික ටික නාට්‍ය හා රංගනයට වැඩි කැමැත්තක් ඇති වුණා. වළල්ල යූ.බී. වන්නිනායක පාසලෙන් උසස් පෙළ හැදෑරුවේ. උසස් පෙළට නාට්‍ය හා රංග කලාව විෂය හැදෑරුවා. 1996 උසස් පෙළ විභාගය ලියා අවසන් වෙලා මම පොල්ගහවෙල නිර්මාණ හා සංස්කෘතික පර්ෂදයේ පාඨමාලාවකට සම්බන්ධ වුණා. ජිනදාස එච්. ගමගේ ගුරුතුමා තමයි එය පවත්වාගෙන ගියේ. සෙල්ටන් පයාගල මහතා සිනමාව ඉගැන්නුවා. වේදිකාව හා ටෙලි නාට්‍ය ජයලාල් රෝහණ මහතා ඉගැන්නුවා. මේ ගුරුවරු තිදෙනා මගේ නිර්මාණ ජීවිතය ගොඩනඟාගන්න බෙහෙවින්ම ඉවහල් වුණු අය. ජයලාල් මහතාගේ දිරිය කැදැල්ල නාට්‍ය වැඩමුළුව වගේම පසුකාලීනව කුරුණෑගල වයඹ කලා උලෙළ, වේදිකාවෙන් මහ පොළොවට ඇතුළු කලා උලෙළවල් හා නාට්‍ය වැඩමුළු රැසකටම සහභාගි වුණා. අපේ කණ්ඩායම 13ක් හිටියා. අපි කණ්ඩායම එකතුවෙලා වේදිකා නාට්‍ය නිෂ්පාදනය කළා. රඟපෑවා. වේදිකා පසුතල නිර්මාණය කළා. අධ්‍යක්ෂණය කළා. ඒ අකාරයට වේදිකාවේ සියලුම දේවල් අපි කළා. ඒ අතරේ කුරුණෑගල එරන්දතී රංග කලා ආයතනයේ සංගීතය හැදෑරුවා. විශාරද දක්වා ඉගෙන ගත්තා. වසර 07ක් සංගීත ගුරුවරයෙක් විදිහට සම්බන්ධ වෙලා වැඩ කළා. 2004 අවුරුද්දේ මම නාට්‍ය කරන්න කියලා කොළඹ ආවා. අපි මහාසාර, නරි බෑනා නාට්‍ය කළා. ඒ අතරේ පෝස්ටර් ගැහුවා. මේ ආදී නොයෙක් කාර්යයන් වල නිරත වුණා. 2004 වසරේදී මට සුසංග කහඳවල ආරච්චි මිත්‍රයා හමුවුණා. එතැන් සිට වේදිකා ටෙලි නාට්‍යවලට මට සම්බන්ධ වෙන්න අවකාශ ලැබුණා. ඒවායෙහි සහය අධ්‍යක්ෂ භූමිකාව වගේම නළුවෙක් විදියටත් මම වැඩ කළා. සහය අධ්‍යක්ෂ වගේම රංගන ශිල්පියෙක් විදියටත් වැඩ කළා. මේ ආකාරයට මම සහාය අධ්‍යක්ෂ සහ රංගන ශිල්පියෙක් විදියට වසර 25 ක අත්දැකීමක් ලැබුවා.

වියළි නිර්මාණය කරන්න පෙලඹුණේ ඇයි ?

ශාන්ති දිසානායක මහත්මියගේ දඩමංකඩ නවකතාව මම කියෙව්වා. මට හිතුණා මේ නිර්මාණයෙන් කදිම ටෙලි සිත්තමක් කරන්න පුළුවන් වෙයි කියලා. මේක අනුරාධපුරේ ශුෂ්ක ගමක කතාවක්. අනුරාධපුරේ පරිසරය වියළියි. ජලය හිඟයි. මෙහි ජීවත් වන මිනිස්සුන්ගේ ජීවිතත් වියළියි. මේ වියළි මහපොළොවට වියළි ජීවිතවලට, තෙතමනයක් අවශ්‍යයි. වැස්සක් අවශ්‍යයි. ඒ තෙතමනය, තමයි ආදරය. වියළි කරන්නෙත් ආදරය සොයන එකයි. තෙතමනය සොයන එකයි. ඒ නිසා ආදරය සොයන, වියළි ජීවිතවලට තෙතමනයක් සොයා යන ගමනක් තමයි වියළි තුළින් අපි පෙන්වන්නේ.

වියළි වෙනුවෙන් මේ දිනවල ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ විකාශනය වුණේ දොළොස් වැනි කොටසයි. මේ වනවිට අපට වියළි ටෙලි නාට්‍යයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මේ ටෙලි නාට්‍ය බලන කිසිදු ප්‍රේක්ෂකයෙක් අපට තවමත් නරකක් කියලා නෑ. මට ඒ ගැන තියෙන්නේ හරිම සතුටක්. මම වියළි ටෙලි නාට්‍යයට ලොකු අත්දැකීම් සම්භාරයක් එක්කයි කැප වුණේ. මේක මගේ පළවැනි නාට්‍ය නිර්මාණයයි. මට ඕන කරන්නේ ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහේ වැඩක් කරන්නයි.

ප්‍රේක්ෂක ප්‍රතිචාර මත වියළි මෙගා වෙයිද ?

වියළි ටෙලි නාට්‍ය අනිවාර්යෙන්ම කොටස් පනහෙන් ඉවර කරනවා. යම් විදිහකට සංස්කරණය කරද්දී පනස් එකකට යන්ට පුළුවන්. නැතිනම් පනහෙන් අවසන්.

වියළි කියන්නේ, දඩමංකඩ ප්‍රතිනිර්මාණයක්ද?

දඩමංකඩ රචනා කළේ ශාන්ති දිසානායක මහත්මිය. ඇය ටෙලි නාට්‍යයට අවශ්‍ය විදිහට අපට මෙය ප්‍රතිනිර්මාණය කරන්න අවසරය දුන්නා. නවකතාවේ තියෙන යම් යම් දෑ යම් යම් සිද්ධි, යම් යම් චරිත අපි එකතු කළා. සමහර ඒවා අයින් කළා. වියළි ටෙලි නාට්‍යයේ කාන්තිගේ තාත්තා ඒ වගේ චරිතයක්. ඔහුගේ චරිතයෙන් පරම්පරා දෙක තුනක්ම සම්බන්ධ කෙරෙනවා.

මේ නාට්‍යයේ සංගීතය විශේෂයි ඒ ගැන කතා කරමු.

සංගීත නිර්මාණයේදී මට හීනයක් තිබුණා. දර්ශන රුවන් මහතාව මේ නිර්මාණයට සම්බන්ධ කර ගන්න. ඔහු ටෙලි නාට්‍ය දාහතරක් අතහැරලා මේ නිර්මාණය භාර ගත්තා. මේ නාට්‍යයේ චරිත වියළියි. පරිසරය වියළියි. මේ අයට වැස්සක් අවශ්‍යයි. වැස්ස කියන ආදරය අපට තේමා ගීතයෙන් පෙන්වන්න ඕනෑ. ඒ නිසා වැහි පිරිත මේකට සම්බන්ධ කර ගත්තා. ඉන්දියානු සංගීතයේ තියෙන මල්හාර් රාගය මෙයට සම්බන්ධ කර ගත්තා. ගීත රචනය කළේ හිතවත් ගයා රම්‍ය අල්විස් මහතායි. මේ තේමා ගීතය ටෙලි නාට්‍යයක අඩුම වචන ගණනකින් ලියපු පළවෙනි ගීතය වෙන්න ඇති. පේළි හයයි. ගායනා කරන්නේ දර්ශන තුසිත් සිම්සන් හා රිද්මිකා මධුභාෂණියි.

තිර රචනය ගැන යමක් ?

තිර රචකයා සමන්ත කුමාර ගමගේයි. සමන්ත, ශාන්ති සහ මම දැදුරුඔයෙන් එහා ජීවත් වෙන අය. අපේ භාෂාව, කතා විලාසය හා හැසිරීම් එකයි. එකම ස්වරූපයක්. ඒ නිසා තිර පිටපත ලියන්න හොඳම කෙනා සමන්ත කියලා මට හිතුණා. ඉහළම මට්ටමේ රස රසභාවයක් සමන්ත ලියූ මේ පිටපත තුළ තියෙනවා. ඒක මගේ නිර්මාණයට පහසුවක්.

රංගනයට දායක වන්නේ ?

වේදිකාවේ රංගනයේ යෙදුණු අය නියම රංගධරයන් විදියට මම විශ්වාස කරනවා. එනිසා මේ නිර්මාණයට වේදිකාවේ රංගනයේ යෙදුණු ශිල්පීන් යොදා ගත්තා. කළු, මාලා, නයෝමි, පලිඟු, කාන්ති කරුණාපාල, කිරිනෝනි. මේ අය නාට්‍යයේ චරිත ඉතා හොඳින් අවබෝධ කරගෙන ඒ තුළ ජීවත් වෙනවා.

කාර්මික ශිල්පීන් පිළිබඳ කුමක් පැවසිය හැකිද ?

චන්දන ජයසිංහ කැමරාකරණයෙන්ද චමින්ද උඩවෙල සහය අධ්‍යක්ෂණයෙන්ද, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්ද, දර්ශන රුවන් දිසානායක සංගීත අධ්‍යක්ෂණයෙන්ද ශාලිත ගුණවර්ධන අංග රචනයෙන්ද ඉන්දික ජයවර්ධන සංස්කරණයෙන් ද සහාය දක්වනවා. අ යන්න යට සිට දිලුපා නිරෝෂණී ද අල්විස් නිෂ්පාදනය කරනවා.

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT