Friday, July 5, 2024
Home » බුදු මෙත් සිසිල

බුදු මෙත් සිසිල

by mahesh
June 28, 2024 1:00 am 0 comment

ප්‍රවීණ ලේඛක, ගේය පද රචක කපිල කුමාර කාලිංග විසින් රචිත නවතම ගීතය ‘බුදු මෙත් සිසිල’ පසුගිය දින මහනුවර ෆාස්ට් ලේන් ශබ්දාගාරයේදී පටිගත කරන ලදී. කරුණාරත්න විජේවර්ධන සංගීතවත් කළ බුදු මෙත් සිසිල ගීතය නදීෂා දයාරත්න විසින් ගායනා කරන අතර නාද සංධ්වනිය දමින්ද රාජපක්ෂ විසින් සිදු කරන ලදී.


තරු කුසුම් යූටියුබ් නැරඹුම් වාර ලක්ෂය ඉක්මවයි

මධුෂානිකා හෙට්ටිආරච්චිගේ තරු කුසුම් ගීතය පසුගියදා යූ ටියුබ් සමාජ මාධ්‍ය හරහා ජනගත කෙරුණි. මේ වන විට එම ගීතය යූ ටියුබ් නැරඹුම් වාර ලක්ෂය ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි.

වෘත්තියෙන් පාසල් සංවර්ධන නිලධාරිනියක් වන මධුෂානිකා මේ වන විට වෙන්නප්පුව නයිනමඩම සාන්ත මරියා විදුහලේ සේවය කරන්නීය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ගායන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන ඇය ගිණුම්කරණය හා මූල්‍ය විෂය පිළිබඳ විශේෂවේදී උපාධිධාරිනියකි.

කුඩා කාලයේ සිටම සංගීතයට ළැදි මධුෂානිකා ගමේ පොදු උත්සව ආදියෙහි, පාසලේ, දේවස්ථානයේ ගායන කණ්ඩායම්හි ගීත ගායනා කරමින් සිය දස්කම් රටට කියා පා තිබේ. මධුෂානිකා, මීට වසර එකහමාරකට පමණ’පෙර අප අතරින් වෙන් වූ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන ප්‍රියමන්තගේ ආදරණිය බිරිඳයි.

තරු කුසුම් ගීතයට හැරුණු විට තවත් ගීත නිර්මාණ කිහිපයක්ම ඇය විසින් සංගීත ලෝකයට දායාද කර ඇත. 2016 වසරේදී ඇය පෙම්වන්ත නිල් දෙනෙත් නමින් සිය කුලු‍ඳුල් ගීතය ගායනා කර තිබේ. එහි පද රචනය සහ තනු නිර්මාණය සිදු කර ඇත්තේද මධුෂානිකා විසින් වීම විශේෂත්වයකි. තරු කුසුම් ගීතයත් සමඟ නුඹ මාව අන්සතු කරන්, කෝඩුකාර හදක, හදවතට මගේ නමින් ගී නිර්මාණ පහක් ඇය මේ වන විට සංගීත ලෝකයට දායාද කර තිබේ.


සිංහබාහු හෙට

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍යය නිර්මාණයක් වන සිංහබාහු වේදිකා නාට්‍යය එළැඹෙන 29 වෙනිදා( හෙට) සවස ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කෙරේ.


මනමේ 30

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍යය නිර්මාණයක් වන මනමේ නාට්‍යයේ විශේෂ දර්ශන වාර දෙකක් ජුනි 30 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කෙරේ.


කලා පුහුණු පාඨමාලාවක්

ෆිල්ම් මේකර්ස් ඇන්ඩ් ආර්ටින් සර්කල්හි (FMAC) සාමාජිකයන්ට සිනමා, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය පිළිබඳ පුහුණු පාඨමාලාවක් ඉකුත්දා කොළඹදී, ප්‍රවීණ රංගන ශිල්පිනී, දමයන්ති ෆොන්සේකා මහත්මියගේ උපදේශකත්වයෙන් පැවැත්විණි. එම පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

කටුගස්තොට ගාමිණී


වේදිකාවේ ඇගැයෙන ප්‍රාසාංගික සන්ධ්‍යාව

අඳුරු කරළියේ සොඳුරු දිවාකර, උපාලි වීරසිංහ වසර 60ක වේදිකා අලංකරණයේ විචිත්‍රතාව ඇගැයෙන ප්‍රාසාංගික සන්ධ්‍යාව 28දා සවස 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී. එදින දෙසුම්, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ සමන් අතාවුදහෙට්ටිගෙනි.


ක්‍රෙස්කැට්හිදී නොමිලයේ MMCA නරඹමු

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලං​කා) යනු සාමාන්‍ය ජනතාව, පාසල්, මෙන්​ම සංචාරකයන්​ගේ ද ප්‍රයෝජනය ​හා රසවින්දනය සඳහා නූත​න සහ සමකාලීන කලා කෘති ප්‍රදර්ශනය, පර්යේෂණ​ය, රැස්කිරීම, සහ සංරක්ෂණය වෙනුවෙන් කැප වූ පොදු කෞතුකාගාරයක් පිහිටුවීම අරමුණු කරගත් අධ්‍යාපනය පෙරටුකරග​ත් මුලපිරීමකි. කෞතුකාගාරය දිනපතා (පෝය සහ මහජන නිවාඩු දිනවල හැර) පෙ.ව. 10–ප.ව. 6 දක්වා කොළඹ 03, ක්‍රෙස්කැට් බූලෙවාර්ඩ්හි බිම් මහලේ විවෘතව ඇති අතර, කෞතුකාගාරයට ඇතුළුවීම සහ එහි සියලු ම මහජන වැඩසටහන් නොමිලේ පැවැත්වේ.

නුවන්


ෂේක්ස්පියර් කේන්ද්‍රයේ කලා හමුවක්

ෂේක්ස්පියර් කේන්ද්‍රයේ විශේෂ හමුවක් ඉකුත්දා ( 24) කොළඹ සිංහල සංස්කෘතික ආයතනයේදී කලාකරුවන්, විද්වතුන්, සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී එම ආයතනයේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යෑම සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකර ගැනීමට ඉඩමක් දෙන්නැයි ඔවුහු එහිදී බලධාරින්ගෙන් ඉල්ලා සිටියහ. එදින එහි සාමාජිකයන්, අමුත්තන් සමූහ ඡායාරූපයකට එක් වූයේ මෙසේය. මෙම අවස්ථවට හිටපු කථානායකවරයකු වූ කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. ඇල්. පීරිස්, හිටපු ඇමැතිවරයකු වූ ජීවන් කුමාරතුංග, හිටපු පළාත් සභා ඇමැතිවරයකු වූ හෙක්ටර් බෙත්මගේ හා හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ව්‍යාපාරික දේශමාන්‍ය ක්ලැරන්ස් කුමාරගේ ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක් සහභාගි වූහ. මෙහිදි විවිධ කලා අංශවලින් දස්කම් පෑ එම කේන්ද්‍රයේ සාමාජික සාමාජිකවන්ට පැමිණ සිටි ආරාධිත අමුත්තන් අතින් තිළිණ හා සහතික පත් ප්‍රදානයක්ද සිදු කෙරිණි. මෙහිදි හිටපු ඇමැති රංගන ශිල්පි ජීවන් කුමාරතුංග මහතා විශේෂ ඇගැයිමක්ද සිදු කළ අතර මෙම කේන්ද්‍රයේ සාමාජික සාමාජිකාවන් වූ සරත් දික්කුඹුර, නයනා කුමාරි, විනු සිරිවර්ධන ඇතුළු පිරිසක් ඇගැයිමට ලක්වූහ. තවද හැම්ලට් නාට්‍යය සිනමාපටයක් ලෙස නිර්මාණය කිරීමේ කටයුතු ලබන දෙසැම්බර් මස ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා තෝරාගෙන ඇති රංගන ශිල්පීන්ට තිරපිටපත් ලබා දුන් අතර මුල් පිටපත ජීවන් කුමාරතුංග මහතාට ලබාදීම ද සිදුවිය.

නුවන්


Musical Suspence Thriller මුහුරත් උලෙළ

නීතිඥ කපිල ගාමිණී ජයසිංහ නිර්මාණය කරන නවතම සංගීතමය ත්‍රාසජනක ක්ෂානරයේ (Musical Suspence Thriller ) නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ 7 නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ගාමිණී ජයලත්, උදිත ගුණරත්න, මොනිකා සේරසිංහ, කසුන් කාරියවසම්, අචිනි අබේරත්න ,තරංග රුක්මල්වල, චන්න ජයනෙත්ති, බන්දුල අතාවුදහෙට්ටි රංගනයෙන් එක්⁣ වෙති. සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ ගෙනි. මෙහි මංගල දර්ශනය අගෝස්තු මස 1 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේ දී සවස වේදිකා ගතවීමට නියමිතය.


සිනමාවේ ශ්‍රියාවියට උපහාර

ප්‍රවීණ රංගන වේදනී ශ්‍රියානී අමරසේන දසක හයක් පුරා සිනමා කලාවට දැක්වූ මෙහෙවර වෙනුවෙන් පිදෙන උපහාර උළෙල ” සිනමාවේ ශ්‍රියාවිය “ශ්‍රියානි අමරසේන රංගාව තරණය ජූලි 09වැනි අඟහරුවාදා ප. ව. 06.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ.

එදා මෙදා තුර අඩ සිය වසක කළ සිනමා දිවියේ මතක සටහන් සමඟ ඇගේ සිනමා දිවියේ සොඳුරු සැමරුම් ඇතුළත් ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමත් සමඟ ඇය විසින් රචිත “මතක සිත්තම්”ස්වයං ලිඛිත චරිතාපදානය දොරට වඩියි. චන්න විජේවර්ධන නර්තන වින්‍යාසයෙන් හා ඉඳුනිල් දිසානායක සමඟ කුමාර් ද සිල්වා ප්‍රසංගය ඉදිරිපත් කරනු ඇත.ශ්‍රියානිගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් වන විරාගයේ සරෝජනීගේ චරිතය පිළිබඳ විරාගයේ අරවින්දගේ චරිතයට රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගනවේදී සනත් ගුණතිලක විසින් එහි මුඛ්‍ය දේශනය කරනු ලබයි.ඒ සමගම ඇයගේ සිනමා දිවියේ ඇය රඟපෑ සිනමා පට ඇසුරින් බන්දුල නානායක්කාරවසම් විසින් රචිත ගීතයද මෙදින දොරට වඩියි. එහි සංගීත අධ්‍යක්ෂණය විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් සිදු කරන අතර දිවයිනේ ප්‍රමුඛතම ගායක ගායිකාවන් රැසක් මෙම ගීතය එදින ගායනා කරනු ඇත.

නිශ්ශංක


Blood Shadows 29 වැනිදා

ජෙහාන් අප්පුහාමි නාට්‍ය නිර්මාණයක් වන”රතු සෙවනැලි, ලේ සැණකෙළි”BLOOD SHADOWS”එළැඹෙන ජුලි10වැනිදා මරදාන එල්පින්ස්ටන් රඟහලේදී සවස දර්ශන වාර දෙකක් වේදිකාගත කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x