Home » රතු පොත වන පොත් කළ ගුරු පිසාචයෝ

රතු පොත වන පොත් කළ ගුරු පිසාචයෝ

by mahesh
June 28, 2024 1:00 am 0 comment

දෙවියන් සොයා ගිය මිනිසුන් අතරේ, දාර්ශනික කතිකාවතේ ප්‍රමුඛයා සෙනෝෆනේස්ය. හෙතෙම දෙවියන් ගවේෂණය කරන ලද්දේ ‘මිනිසුන්ගෙන් අසාගෙන’ය. තම තමන්ගේ දෙවියන් තමන්ගේ ස්වරූපයෙන් මිනිසා විස්තර කරන ආකාරය සෙනෝෆනේස් නිරීක්ෂණය කළේය. අප්‍රිකානු ජනතාවගේ දෙවියෝ කළුය. නාසය අප්‍රිකානුවන්ගේ සේ පැතැලිය. ග්‍රීසියේ දෙවිවරු ‘ග්‍රීකයෝ’ මෙන්ය. රණශුර ග්‍රීක ජන පෞරුෂය, ඔවුන් සිය දෙවියන් මත ආරෝපණය කර ඇති බව සෙනෝෆනේස් දුටුවේය. දෙවියන් මේ ආකාරයට මිනිසා මත ‘සමපාතවීම’ දේවත්වයට හානිකර බැව් සෙනෝෆනේස්ගේ නිගමනය විය. මේ නිසා මානව ස්වරූපය ඉක්මවා ගිය දෙවියෙක් පිළිබඳ සෙනෝෆනේස් ‘නව න්‍යායක්’ නිපදවූයේය.

පළමුව සිය ස්වරූපය දෙවියන් වෙත ආරෝපණය කළ මිනිසා, දේව කතා සාහිත්‍යයේදී ඔහුගේ ගතිගුණ ද දෙවියන් වෙත ආරෝපණය කරන ආකාරය සෙනෝෆනේස් දුටුවේය.‘හෝමෝර් සහ හෙසියෝඩ්’ දෙවිවරුන් සඳහා මිනිසුන් සිය ගතිගුණ ආරෝපණය කර ඇත්තේය. මිනිස් සමාජයේ නින්දාවට, අපහාසයට ලක්වන සොරකම, කාම මිථ්‍යාචාරය සහ වංචා යන සියල්ල දෙවියන්ට ද ඔවුහු ආරෝපණය කර ඇත්තාහ.’ යනුවෙන් සෙනෝෆනේස් පවසන්නේය.

මිනිස් ස්වරූපයට සහ ගතිගුණයන්ට සමාන වූ කල්හි දෙවියන්ගේ පූජනීයත්වය අහෝසි වන හෙයින් දෙවියන් වෙත නවතම ස්වරූපයක් සෙනෝෆනේස් ලබා දුන්නේය. විවිධාකාර දේව ස්වරූපය මිනිසාට, ස්වරූපයෙන් හෝ ගතිගුණ ආදියෙන් ඇති සමානත්වය හෙතෙම ‘තියරියක් ලෙසම’ අහෝසි කළේය.

‘දෙවියන් යනු එක් අයෙකි. දෙවියෝ උත්තරීතරය. එසේම දෙවියෝ ශරීරයෙන් හෝ මනසින් මනුෂ්‍යයන් මෙන් නොවේ.’ යන්න හෙතෙම කියා සිටියේය. දෙවියෝ මනුෂ්‍ය ස්වරූපයට කවර ලෙසකින් හෝ සමාන වූ කල, දේවත්වය අහෝසි වන හෙයින් මනුෂ්‍ය පදාර්ථයට වෙනස්ම ආකාරයක් දෙවියන් වෙත පිහිටුවාලීම සෙනෝෆනේස්ගේ වුවමනාව විය.

පෙරේදා මහ මග කඳුළු ගෑස් කමින්, සතර අතේ දිව ගිය ගුරු සේනාව දැක මේ තීරුවේ මතකයට සෙනෝෆනේස් පැමිණියේය. වර්ජනය වනාහි කම්කරු නීතියේ ඇති අයිතියකි. එහෙම නීතිරීති තිබෙන්නේ මුත් මේ සමාජයේ දෙවැනි දෙවියන් වූ ගුරුවරු ‘සිප්සතර ලබාදීම’ දෙවැනි කර, වර්ජන ක්‍රියාදාමයට යෑම වනාහි ගුරු භුමිකාවේ ‘දේව නහරය’ කපා ගැනීමකි.

ගුරු බ්‍රහ්මා ගුරු විෂ්ණු – ගුරු දේවෝ මහේශ්වරා: ගුරු සාක්ෂාත් පරම් බ්‍රහ්මා – තස්මයි ශ්‍රී ගුරුවේ නම:

ගුරුවරුන් බ්‍රහ්මා, විෂ්ණු, සහ ශිව දෙවියන් ලෙස සමාන තැනක් දරන බව උපනිෂද් දහම මේ ශ්ලෝකයෙන් කියාපාන්නේය. වැටුප් ආදී ප්‍රශ්න සඳහා සාමාන්‍ය ජනයා වර්ජන නම් මානය අතට ගන්නේ වුවද ගුරුවරයා එය අතට ගත්වන හෙතෙම සාමාන්‍යකරණයට ලක්වන්නේය. දෙවියෝ ස්වරූපයෙන් සහ ඇවතුම් පැවතුම් ආදියෙන් මිනිසාට සමාන වූ කල්හි දේවත්වය අහෝසි වන්නේ සේ, ගුරුවරු ද සාමාන්‍ය ස්වරූපයෙන් සිය වෘත්තීය ඉල්ලීම් දිනාගැනීමට ගිය කල්හි එහි ඇති දිව්‍යමය ස්වභාවය ‘පාරට දියවී’ යන්නේය.

ගුරු භූමිකාව පිළිබඳ මෙලෝ හසරක් නොදැන ‘ක්ලාක් ජොබ්’ එකක් ලෙස පන්ති කාමරයට පැමිණෙන ගුරුවරයා වෙත ඔය ප්‍රශ්නය නැත. දේශපාලන න්‍යාය පත්‍රය කිහිල්ලේ ගසාගෙන පාසල් ගේට්ටුවෙන් ඇතුළුවෙන ගුරු තෙමේ ද ඉගැන්වීම පිළිබඳ නොව තමන්ගේ පක්ෂයේ බලය සඳහාම මහන්සි ගන්නේය. රතු පොත අතට ගත් වන, දරුවන්ට පොතපත පාඩම් කියාදීමට වඩා ‘ලෝකයක්’ එම ගුරුවරයා වෙත එන්නේය. එය පුද්ගලානුබද්ධව පවත්වාගෙන යන්නේ නම් සමස්ත ගුරු සේවයේ ගෞරවය උදෙසා අවුලක් නැත්තේය. එහෙත් සිය දේශපාලන ‘යහනේ’ ගුරු සංහතියම ‘දිගා කිරීම’ සඳහා ඒකා ලණු දෙන කල්හි ‘දේවත්වය’ අහෝසි වන්නේය.

මේ ආකාරයට ‘ගුරුවරු දෙවිවරු’ යන යෙදවුම ද ‘පක්ෂය’ට වන්දනා කරන ගුරුවරු වෙත අරහංය. ඔවුහු අසන්නේ දෙවිවරු ලෙස අපට සලකන්නේ නම් වැටුප් ආදී ප්‍රශ්නයන්හිදී එහෙම නොසලකන්නේ ඇයි ද යන්නය. මේ රටේ වැටුප් ප්‍රශ්න යනු ලෝක විනාශය තෙක් ඇදී යන්නකි. දුප්පතුන් නැති ලෝකයක් කවදා හෝ බිහිවීමේ සම්භාවිතාවක් ඇත්තේ වුවද වැටුප් විෂමතා ආදිය රහිත රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාවේ බිහිවන්නේ නැත.

එයම අල්ලාගෙන ‘වෘත්තිය ගරුත්වයට’ නිග්‍රහ කර ගත් විට වැටුප ලැබුණ ද වෘත්තිය පිරිහී යන්නේය. වෘත්තියකැ වටිනාම දේ වැටුප නොව ඒ සඳහා ඇති සුවිශේෂභාවයය. එය පිරිහුණු කල්හි වැටුප් ආදියේ සිට සියල්ල සඳහා ඇති උනන්දුව ද දියව යන්නේය. මේ නිසා ‘ගුරු දෙවි’ භූමිකාව පළමුව සුරැකිය යුතුය යන්න මේ තීරුවේ අදහසය.

පෙරේදා පැවැති වර්ජන හේතුවෙන් බොහෝ රජයේ පාසල් සඳහා ළමෝ පැමිණියේ නැත. පැමිණ සිටි ළමෝ ද කෙළිදෙලෙන් කාලය ගත කළා මිස ‘අකුරු සතර’ ඉගෙන ගත්තේ නැත. මෙහෙම කඩින්කඩ සිද්ධ වෙන වර්ජන පෞද්ගලික අංශයේ පාසල්හි නැත්තේය. ‘රජයේ පාසල් ගුරුවරු ලබන වැටුපටම’ පෞද්ගලික පාසල්හි ගුරුවරු සේවයේ යෙදෙති.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ වසර විසි පහකට වැඩි කාලයක් තිබූ ගුරු වැටුප් ප්‍රශ්නය සඳහා විසඳුමක් ලැබිණි. 1997 වර්ෂයේ සිට ගත වූ වසර 24 තුළ ධාවනය වූ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම සඳහා 2009 වසරේ අය වැය මඟින් රු. මිලියන 3000ක් වෙන් කළේය.

එසේ වුව ද, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි ගුරුවරුන්ට වැටුප් වර්ධක ලබා දීමට ආණ්ඩුවට නොහැකි විය. මේ සඳහා පිළියමක් ලෙස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මගින් සිදු කළ යෝජනා අය වැයට ඇතුළත් කරන තෙක් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරියේ නිරත ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දුන්නේය. වසර විසි පහක ප්‍රශ්නයක් එහෙම විසඳා දැමුවේ මුත්, රතු ගුරු කල්ලියට, වෘත්තියට වඩා පක්ෂය ප්‍රබල විය. ඔවුහු වෘත්තිය ඉදිරියට දමාගෙන පක්ෂය වෙනුවෙන් පාරට බැස්සෝය.

දැන් යළිත් සැරසෙන්නේ ඒ තාලය ඇල්ලීමට නම් මේ පාර ගුරුවරු පාඩම ඉගෙන ගන්නේ පාරෙන්ය. ඒ තරමට ජනයා මේ වර්ජනය පිළිබඳ විරෝධයෙන් සිටින්නේය. දෙවිවරුන්ගේ භූමිකාව අහෝසි කරගත් විට පළමුව මිනිසා ද එතැනින් පහළට ගිය කල්හි ප්‍රේතයා ද හමුවන්නේය. පාසල අමතක කර, මේ ආකාරයට පාරේ සරඹ කිරීමට ගියහොත් සමාජය විසින් පෙරේතයා පොළොවේ ගැසුවා සේ ගුරුවරයාට ද ‘යහමග’ කියා දෙනු ඇත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT