Thursday, July 4, 2024
Home » ලංකා බැංකුවේ ගාල්ල නගර ශාඛාව නව නිවහනකට

ලංකා බැංකුවේ ගාල්ල නගර ශාඛාව නව නිවහනකට

by mahesh
June 28, 2024 12:58 am 0 comment

බැංකුකරණයේ නව යුගයකට දොරටු විවර කරමින්, වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ ගාල්ල නගර ශාඛාව ලංකා බැංකුවටම අයත් ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගිය දා සිදු කෙරිණි. මේ වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට ලංකා බැංකුවේ සභාපති කාවන් රත්නායක, මහා කළමනාකරු ඩබ්. පී. රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකාරිනී (උපකාරක සේවා) ප්‍රියන්ති විජේසේකර, සහකාර මහා කළමනාකාරිනී (ප්‍රසම්පාදන) ඉෂාරා රණසිංහ, සහකාර මහා කළමනාකාරිනී (යෙදවුම් පද්ධති) ප්‍රියංගනි ජයතුංග, සහකාර මහා කළමනාකාරිනී (දකුණු පළාත) මනෝසිකා හේරත් සහ මෙහෙයුම් කළමනාකරු (දකුණු පළාත) ජනත් ප්‍රසංක යන මහත්ම මහත්මීහු ඇතුළු ලංකා බැංකු කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ හා ගනුදෙනුකරුවෝ රැසක් සහභාගි වූහ.

ගාල්ල ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන ජනතාව සාමාජීය හා ආර්ථික වශයෙන් බල ගන්වමින්, ඔවුන් වෙත මූල්‍ය පහසුකම් සමඟින් සියලුම බැංකු සේවාවන් ලබා දීම, ප්‍රතිස්ථාපිත මෙම ලංකා බැංකු ශාඛාවේ අරමුණ වන අතර දිවයින පුරා පිහිටා ඇති 655ක් වූ ලංකා බැංකු ශාඛා ජාලය හා 2000කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වී ඇති නිසා ගාල්ල ප්‍රදේශය ආශ්‍රිත ගනුදෙනුකරුවන්ට මෙම ශාඛාව හරහා රටේ ඕනෑම ප්‍රදේශයක් සමඟ මෙන්ම ජාත්‍යන්තරව ද ගනුදෙනු සිදු කිරීමේ වරප්‍රසාදය හිමිවේ. එමෙන්ම ඉතිරිකිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ආයෝජන සැලසුම්, නිවාස හා පෞද්ගලික ණය, අධ්‍යාපන ණය, කල්බදු, උකස් සේවා වැනි මූල්‍ය පහසුකම් රැසක් මෙන්ම සුවිශේෂී ණය පහසුකම් ද ගාල්ල නගර ශාඛාව මඟින් ලබාගත හැකිවීම විශේෂිතය. ඊට අමතරව ගනුදෙනුකරුවන්ට Debit හා Credit කාඩ්පත්, ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් මෙන්ම ප්‍රේෂණ සේවාවන් ද සහිතව ගාල්ල නගර ශාඛාව මඟින් අංගසම්පූර්ණ බැංකු සේවාවක් ලබා ගත හැකි වේ.

මහ ජනතාව වෙත ඩිජිටල් බැංකු සේවාවෙහි නව අත්දැකීම් ලබා දීම සඳහා නිබඳවම වෙහෙසෙන ලංකා බැංකුව ඒ වෙනුවෙන්ම SmartPay, Smart Online Banking, Mobile Banking (B App), E – Commerce Debit Card, BOC Connect (නියෝජිත බැංකු සේවාව), Branch on Wheels (ජංගම බැංකු ශාඛා), Smart Zone, BOC Digi (ඩිජිටල් ශාඛා), Smart PassBook (විද්‍යුත් පාස් පොත), SmartGen ඩිජිටල් ගිණුම, අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් ක්‍රමවේද සහ ගිණුම් විවෘත කිරීම, පෞද්ගලික/නිවාස ණය සඳහා අයදුම් කිරීම ආදී සේවාවන් මාර්ගගතව (Online) ලබා ගැනීමේ හැකියාව වැනි ඩිජිටල් බැංකුකරණ විසඳුම් රැසක් තම ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇත. මෙම ඩිජිටල් පහසුකම් නිසා ගනුදෙනුකරුවන්ට ඉතා පහසුවෙන් දෛනික බැංකු ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x