Home » ණය ගෙවීමේ තිරසාර තත්ත්වය නිසා ශ්‍රි ලංකාවට ඇ.ඩොලර් බිලියන 17ක වාසියක්

ණය ගෙවීමේ තිරසාර තත්ත්වය නිසා ශ්‍රි ලංකාවට ඇ.ඩොලර් බිලියන 17ක වාසියක්

by yasara
June 28, 2024 9:46 pm 0 comment

ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය.

එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

2022 වසරේ අප්‍රේල් මස 12 වනදා ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු විදේශ ණය යම් ප්‍රමාණයක් ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. ඒ වන විටත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 600, 700 සහ 1000 දක්වා ඉහල යන බවට එවක සිටි ඇතැම් පාර්ශ්ව චෝදනා කළා. නමුත් පසුව අප විසින් එම තත්ත්වය පාලනය කර ගැනීමට සමත් වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා ලෙස අපට දැනුම් දුන්නා. ඒ සඳහා ලසාඩ් සමාගම අපගේ නියෝජිතයා ලෙසත් නීති උපදේශක ලෙස ක්ලිෆඩ් චාන්ස් සමාගමත් පත් කර ගැනීමට කටයුතු කළා.

මෙහිදී අප පළමුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළා. මෙම කටයුතු සිදුකරන විටත් අප රටක් ලෙස බහු පාර්ශ්වීය සංවිධානවල ණය ගෙවීමට කටයුතු කළ බව සඳහන් කළ යුතුයි.

මේ වන විට අප ද්වී පාර්ශ්වීය ණය හිමි රටවල් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සාර්ථකව අවසන් කරගෙන තිබෙනවා. ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එක් වී ද්වී පාර්ශ්වික ණය කළමණාකරණය සඳහා නිල ණය හිමියන්ගේ කමිටුවක් පිහිටුවමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ඊට සමගාමීව චීනය සමඟ ද අප සාකච්ඡා සිදු කළා. මේ සියල්ල අවසානයේ අප සාර්ථක වී ඇති අතර ණය ගෙවීමේ තිරසර තත්ත්වයක් තිබෙන රටක් බවට ද පත්ව සිටිනවා. මෙම සාර්ථකත්වය නිසා ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමි වනවා. ඒ වගේම තවත් ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් අප රටට හිමි වනවා.

තව ද මෙම සාර්ථකත්වය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සිදුවන සාකච්ඡා සාර්ථක කර ගැනීමට ඉවහල් වන බව කිව යුතුයි. මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා සිදු වෙනවා.

ඒ වගේම සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බව පැවසිය යුතුයි. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගත යුතුව තිබෙනවා. එසේම දැනට විදේශ ණය සඳහා ගෙවන පොලිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5%ක් දක්වා අඩු කර ගත යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x