Home » “ වේ ප්‍රෝටීන් “ අඩංගු බෝතල් වල කෝටි 18 ක කුෂ් සහ ගංජා හසුවෙයි

“ වේ ප්‍රෝටීන් “ අඩංගු බෝතල් වල කෝටි 18 ක කුෂ් සහ ගංජා හසුවෙයි

by yasara
June 28, 2024 4:15 pm 0 comment

කායවර්ධන ක්‍රීඩකයින් තම මස් පිඩු වර්ධනය කර ගැනීම සදහා භාවිතා කරන ” වේ ප්‍රෝටීන් ” අඩංගු බෝතල් 13 ක් තුළ අසුරා , රුපියල් දහ අට කෝටි පනස් ලක්ෂයක් වටිනා ” කුෂ් ” නැමැති ගංජා තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්  අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පාර්සල් ගුවන් තැපැල් පාර්සල් සේවය ඔස්සේ සීදුව පිහිටි කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික බන්ධිත ගුදම වෙත එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (28) පස්වරුවේ සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 06 ක් ලෙස සකස් කර කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කඩවත සහ කොළඹ පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි .

මෙම පාර්සල් මීට මාසයකට පමණ පෙර මෙම පෞද්ගලික බන්ධිත ගුදම වෙත ලැබී තිබුණු අතර , ඒවා භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා , එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට පියවර ගෙන තිබූ අතර , මෙම ” වේ ප්‍රෝටීන” බෝතල් වල සදහන් බරට වඩා වැඩි බරක් පැවතීම නිසා ඒවා ගලවා පරීක්ෂා කර බැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ .

මෙම මත්ද්‍රව්‍ය තොගය තුළ ” කුෂ්” නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 117 ක ප්‍රමාණයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 030 ක ප්‍රමාණයක් තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x