Home » සියලු ගුරු භවතුන් අද සේවයට වාර්තා කරන්න

සියලු ගුරු භවතුන් අද සේවයට වාර්තා කරන්න

වැඩබලන අධ්‍යාපන ඇමැතිගෙන් ආයාචනයක්

by mahesh
June 28, 2024 1:00 am 0 comment

මවුපියනි, අද දරුවන් පාසල් එවන්න

රටේ සුවහසක් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය ගැන සිතා බලා අද දවසේ සිට සේවයට වාර්තා කරන්නැයි සියලු ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට වැඩබලන අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තමන් ආයාචනා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

අද දිනයේ දරුවන් සුපුරුදු පරිදි පාසල් එවන ලෙස මවුපියන්ගෙන් ඉල්ලා සිටින බව ද ගුරු වර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවසීය.

එහිදී ඇමැතිවරයා පැවසුවේ ජීවිතය ගොඩනඟා ගැනීමේ එකම මාර්ගය අධ්‍යාපනය බව සලකන පොදු ජනතාවගේ දරුවන් පිරිසකට මේ වර්ජන නිසා අධ්‍යාපනය අහිමිව ඇති බවයි.

මේ වර්ජනය තුළින් පීඩාවට පත් ඇත්තේ කුසට අහරක්, හිසට නිවෙසක් නැති එදා වේල සරි කර ගන්නට නොහැකි අන්ත අසරණ පවුල්වල දරුවන් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

“විශාල මුදලක් ගෙවලා ජාත්‍යන්තර පාසල්වලට හෝ පෞද්ගලික පාසල්වලට යාගත නොහැකි දරුවෝ තමයි අද ඔබෙන් ජීවිතය ඉල්ලා සිටින්නේ. අපේ රටේ ජාත්‍යන්තර පාසල් තුන්සිය අනූවක් හාරසීයක් පමණ පවතිනවා. ඒ පාසල්වල කිසිදු ගුරු වර්ජනයකින් තොරව අඛණ්ඩව අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. රට තුළ තිබෙනවා පෞද්ගලික පාසල් අනූපහක්. එයින් පනස් හතකට රජය වැටුප් ගෙවනවා. අනෙකුත් වරප්‍රසාද ලබාදෙනවා. ඒ පෞද්ගලික පාසල්වල එක්ලක්ෂ පනස් දහසකට ආසන්න දරුවන් පිරිසක් සිටිනවා. පන්දහස් හයසිය හැට හතරක් ගුරුවරු සේවය කරනවා. එකී රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් පනස් හතෙන් රජයේ ආධාර නොලබන අනුමත පෞද්ගලික පාසල් තිස් අටෙත් දරුවන්ට ඉගෙන ගැනීමට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වර්ජනය තුළ වඩා පීඩාවට පත් වෙන්නේ කුසට සම්පූර්ණ ආහාර වේලක් නැති විලි වසා ගැනීමට හරි හැටි වස්ත්‍රයක් නැති බිත්ති හතරකින් වටවූ තමන්ගේ කියා ගන්න නිවහනක් නැති දරුවන් පිරිසක් පමණක් යැයිද ඇමැතිවරයා මෙහිදී කීවේය.

මේ පවතින තත්ත්වය තුළ ජීවිතය ගොඩනඟා ගැනීමේ එකම මාර්ගය අධ්‍යාපනය ලෙස සලකන පොදු ජනතාවගේ දරුවෝ තමයි මේ පාසල්වල අධ්‍යාපනය ලබන්නේ. ඒ සඳහා මෙරට බදු ගෙවන ජනතාවගේ බදු මුදලින් වැටුප් ගෙවන විට ඒ වැටුප් ගෙවීම පිළිබඳ ලංකා ආණ්ඩුවට කළ හැකි උපරිමය තමයි අප ආණ්ඩුවක් හැටියට කර තිබෙන්නේ. 2023 පසුගිය වර්ෂයේදී භාණ්ඩාගාරයට සියලු මාර්ගවලින් ලැබිලා තිබෙන මුළු ආදායම බිලියන තුන්දහස් හතළිස් අටක් පමණයි. ඒ කියන්නේ ත්‍රිලියන තුනයි. එදිනෙදා ඕනම රජයක් පවත්වාගෙන යෑමේ කටයුතුවලදී දරනු ලබන වියදම, එනම් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප්, සමෘද්ධි අස්වැසුම සහනාධාර හා කුටුම්භ පැවරුම්, ගත්ත ණය සඳහා පොලී ගෙවීම් කියන පුනරාවර්තන වියදම් හතර සඳහා බිලියන හාරදහස් හත්සීයක් වියදම් කරලා තිබෙන බවද ප්‍රකාශ කළේය.

රජයට සියලු මාර්ගයන්ගෙන් ලැබෙන්නේ බිලියන තුන්දහස් හතළිස් අටයි. බිලියන එක්දහස් හත්සිය හතළිස් අටක් එදිනෙදා පවත්වාගෙන යෑම සඳහා රජය ණයට අරගෙන තිබෙනවා. මේ සංඛ්‍යා දත්ත පිළිබඳ රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලැබූ මේ වාර්ෂික මුදල් වාර්තාවේ සඳහන් වෙනවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වල තිබෙනවා. මේ වියදම් වර්ගවල එකකවත් කිසිවකුටත් කිසියම් මුදලක් කාන්දු කර ගන්න බැහැර කර ගන්න පුළුවන්කමක් නැහැ. හොරකමක් කරන්න ඉඩ නැහැ. කොමිස් මුදලක් ලබන්න ඉඩ නැහැ. රාජ්‍ය සේවක වැටුප් බිලක් තිබෙනවා. විශ්‍රාමික පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් බිලක් තිබෙනවා. සමෘද්ධි අස්වැසුම දිළිඳු ජන කොටස්වලට ලැබෙනවා. ඊළඟට ගත්ත ණයවලට දේශීය හා විදේශීය බැංකුවලට පොලී ගෙවනවා යැයිද පැවසීය.

කවුරු ආණ්ඩු කළත් කවුරු ජනාධිපතිවරයා වශයෙන් හිටියත් මේ පුනරාවර්තන වියදම පියවා ගන්න ආදායමක් නැති නිසා සෑම ආණ්ඩුවක්ම දේශීය හා විදේශීය වශයෙන් විශාල වශයෙන් ණය ගත්තා. ප්‍රාග්ධන වියදම් දරන්නත් ඕනෑ. මංමාවත් විදුලිය ජල බස්නා ජලපවාහන ක්‍රම වැනි ප්‍රාග්ධන වියදම් දරන්නත්, ඊළඟට ණය ආපසු ගෙවන්නත් ණය වාරික ගෙවන්නත් තව තව ණය ගත්තා. ණය අරගෙන ප්‍රමාණවත් නැති වෙනකොට මෙවැනි උද්ඝෝෂණ එහෙම දේශපාලන අරමුණු අනුව කරනකොට මහජන ජීවිතවලට පීඩාවක් ඇති වෙනකොට රජය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා සල්ලි අච්චු ගහන එක පුරුද්දක් වශයෙන් කරගෙන ආවා. දැන් මේ දෙකම කරන්න බැරි තත්ත්වයට රට පත් වුණා යැයිද කීවේය.

ගත්තු ණය ගෙවාගත නොහැකි වීම තුළ 2022 වර්ෂයේ සිට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම කරණකොට ගෙන මේ සතිය වන තෙක් වෙනත් රටවලින් ලැබුණු විදේශීය ණය ආධාර ලංකාවට දෙන එක සම්පූර්ණයෙන් නතර වෙලා තිබුණා. මංමාවත්වලට විදුලියට විදුලිබලාගාරවලට වෙනත් සංවර්ධන යෝජනා ක්‍රමවලට ව්‍යාපෘති ණය හෝ ව්‍යාපෘති නොවන ණය දෙන්නේ නැහැ.

දැනුත් මේ අය-වැය පාලනය කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා වශයෙන් අවසාන ණය දෙන්නා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත්ත විස්තීර්ණ ණය පහසුකම යටතේ තමයි මේ අය-වැයවත් ගළපාගෙන හදාගෙන හුස්ම ගන්න පුළුවන් තත්ත්වයට ගොඩ එන්නට හැකියාව ලැබුණේ යැයිද අමැතිවරයා පැවසුවේය.

උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන වර්ෂයේ අය-වැය ලේඛනය හදන්න පමණක් අමෙරිකානු ඩොලර් මිලියන හත්සීයක් දෙන්න එකඟ වී තිබෙනවා. ලෝක බැංකුව හාරසීයක් දෙන්න එකඟ වෙලා තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව තුන්සීයක් දෙන්න එකඟ වෙලා තිබෙනවා. මේවා එකක්වත් නැත්නම් රට පවත්වාගෙන යන්න බැහැ. මේ රට පවත්වාගෙන ගිහිල්ලා තිබෙන්නේ මෙවැනි ඉතාම විශාල මූල්‍ය අර්බුදයක් තුළයි. ඒ නිසා අප මේ වැටුප් පිළිබඳ උද්ඝෝෂණ යනාදිය කරන සියලු දෙනාට කියන්න කැමැතියි ඔබ දරන දේශපාලන මතය කුමක් වුණත් කවුරු රටේ රාජ්‍යය ගත්තත් ආණ්ඩුව ගත්තත් ඒ ආණ්ඩුවට කරන්න වෙන්නේ මේ මහජනයාගෙන් ලබා ගන්නා බදු හා අනෙක් බදු නොවන ආදායම වඩා පිරිමැසුම්දායකව කළමනාකරණය කිරීම පමණක් බවත් අවධාරණය කළේය.

ඒ නිසා 2022 වර්ෂයේදී කැබිනට් අනුකමිටුවක් පත්කොට ගුරු සේවයේ වැටුප් විෂමතා සඳහා පිළිතුරක් වශයෙන් ගුරු සේවාවේ තුන දෙක ශ්‍රේණිය සඳහා සියයට දාහතරක වැටුප් වැඩි වීමක් එනම් මසකට රුපියල් තුන්දහස් හත්සිය පනහක වැටුප් වැඩි වීමක් ලබාදී තිබෙන අතර ගුරු සේවයේ පළමු වැනි ශ්‍රේණිය සඳහා සියයට විසි හයක වැටුප් වැඩි වීමක් එනම් රුපියල් දාහත් දහස් හත්සිය විස්සක් මසකට වැටුප් වැඩි වීමක් විසි දෙක වර්ෂයේදී ලබාදී තිබෙනවා. විසිතුන වර්ෂයේදී ගුරු සේවය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයටම මේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය තුළ රුපියල් දසදහසක දීමනාවක් ලබාදී තිබෙනවා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා මුදල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සමහර ගැළපුම් කරන නිලධාරීන්ට උපදෙස් දීලා තිබෙනවා රජයේ අනෙක් සේවකයන්ට 2022 වර්ෂයේ වැටුප් වර්ධකයක් මෙලෙසින් නොලැබුණු නිසා 2023 වර්ෂයේ රුපියල් දස දහසක දීමනාව ගුරු සේවයට නොදුන්නත් ප්‍රශ්නයක් නෑ මොකද වැටුප් වැඩි වීමක් කරලා තිබෙන නිසා, සියයට දාහතරයි විසිහයයි අතර ප්‍රමාණයකින්. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා පැහැදිලිව උපදෙස් දී තිබෙනවා මේ රාජ්‍ය සේවයේ සියලු දෙනා එකට සලකලා සෑම කෙනකුටම දසදහසක දීමනවා ගෙවන්න කියලා මාසිකව. දැන් ඒක ගෙවාගෙන එන බවද කීවේය.

අපට මෙය ගළපා ගන්න වෙන ක්‍රමයක් නැතිව විවිධ අවස්ථාවලදී විවිධ ක්ෂේත්‍රවල රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා වැටුප් ප්‍රශ්න යනාදිය ඇතිවෙන එක විටින් විට විවිධ දේශපාලන අරමුණු හා වෙනත් න්‍යායපත්‍ර අනුව සිද්ධ වෙන නිසා ජනාධිපතිතුමා මේ වන විට කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා මේ වැටුප් විෂමතා සියල්ල විසඳා දීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කොට තිබෙනවා. මේ කමිටුවට මේ තිබෙන වැටුප් පිළිබඳ දුක් ගැනවිලි ඉදිරිපත් කළ විට ඒ සියල්ල විසඳලා 2025 අය-වැය ලේඛනයෙන් තමයි ප්‍රතිපාදන සලසා ගන්න වෙන්නේ. කවුරු ආණ්ඩු කළත් මීට පිට ක්‍රමයක් ඇත්තේ නැහැ.එහෙමනම් එතන කරන්න වෙන්නේ රටේ මූල්‍ය නීති රීති පද්ධති සියල්ලට පිටුපාලා කරන හිතුවක්කාර ක්‍රියාවක්. ඉස්සර සමහර විට එසේ කරන්න ඉඩක් තිබුණා. යම් යම් විශේෂිත තත්ත්වයන් යටතේ විදේශ ණය ආධාර ලබා ගන්න පුළුවන් වෙලා තිබුණා. දැන් ඒක තාවකාලිකව නතර වෙලා. කිසිසේත්ම ඉදිරියේදී කවර ආණ්ඩුවක් ආවත් ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් අච්චු ගැසීම තහනම් කළේ පාර්ලිමේන්තුවේ නීතියක් මඟින් බවද සඳහන් කළේය.

ඒ නිසා කරුණාකරලා ඔබ සියලු දෙනා බුද්ධිමත් උගත් රටේ අනාගතය හැඩගස්සන ගුරුවරුන් වන බැවිනුත් මේ යථාර්ථය තේරුම් ගැනීම පිළිබඳ අවශ්‍ය පුළුල් බුද්ධියක් තිබෙන බැවිනුත් අප ඉල්ලන්නේ මේ තත්ත්වය තේරුම් ගන්න කියලයි. අප යහපත් දරුවන්ට ආදරය කරන මඟ පෙන්වන ගුරුවරයකුට වැන්දාට කිසි පවක් නැහැ. ඒ නිසා වැඩබලන අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් සියලු ගුරු මෑණිවරුන් පියවරුන්ගෙන් හෙට දිනයේ සිට සේවයට වාර්තා කරලා මේ රටේ දරුවන් වෙනුවෙන් තමන්ගේ මඟ පෙන්වීම නැවැරැදිව ඉටු කිරීම සඳහා කැප වෙන ලෙස මම වැඳලා ඉල්ලා සිටින්නට කැමැතියි“ යනුවෙන්ද ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x