Friday, July 5, 2024
Home » ශත­කය සපු­රන ජාතික ගුවන්විදුලිය

ශත­කය සපු­රන ජාතික ගුවන්විදුලිය

by Gayan Abeykoon
June 27, 2024 1:10 am 0 comment

ජාතික ගුවන් විදුලියේ  සියවස් සමරුව නිමිත්තෙනි

ශ්‍රී ලාංකේය ගුව­න්වි­දුලි සන්නි­වේ­ද­නයේ ආර­ම්භය පිළි­බ­ඳව ඇත්තේ විවා­දා­ත්මක අද­හ­සකි. එය නිශ්චි­ත­වම 1924 ජූනි මස 27 වැනිදා ආරම්භ වූ බවට මත­යක් පවතී. තවත් මත­යක් වන්නේ ගුව­න්වි­දු­ලිය නිල වශ­යෙන් ආරම්භ වන්නේ 1925 දෙසැ­ම්බර් 16 වැනිදා බවයි. නමුත්, තහ­වුරු කළ­හැකි නිල ලේඛ­න­යන්ට අනුව ශ්‍රී ලංකාවේ ගුව­න්වි­දුලි විකා­ශන කට­යුතු නිල වශ­යෙන් ආරම්භ කර ඇත්තේ 1924 ජූනි මස 27 වැනි­දායි. ගුව­න්වි­දු­ලියේ හිටපු අධ්‍යක්‍ෂ ජන­රා­ල්ව­ර­යෙකු වූ ආචාර්ය නන්දන කරු­ණා­නා­යක ලියන ලද “ 66 වස­රක ගුව­න්වි­දු­ලිය”කෘතියේ සාක්ෂි සට­හන් සහි­තව සඳ­හන් වන්නේ ලංකා ගුව­න්වි­දු­ලිය නිල වශ­යෙන් 1924 ජූනි 27 වැනිදා ආරම්භ කළ බවයි.

ශ්‍රී ලංකා­වට ගුව­න්වි­දු­ලිය හඳු­න්වා­දීම පිළි­බ­ඳව ගෞර­වය හිමි විය යුතු පුද්ග­ල­යන් හා ආය­තන කිහි­ප­යකි. “ ලංකා ආධු­නික ගුව­න්වි­දුලි සමි­තිය ” ඉන් එකක් වන අතර, එව­කට ශ්‍රී ලංකාවේ අධ්‍යා­පන අධ්‍ය­ක්‍ෂව සිටි එල්. මැක්රේ මහතා සහ ඒ පිළි­බඳ උන­න්දුව දැක්වූ තවත් කිහි­ප­දෙ­නෙකු එක්ව 1922 නොවැ­ම්බර් 24 වැනිදා “ කොළඹ ගුව­න්වි­දුලි සමා­ජය” පිහි­ටු­වනු ලැබීය. 1928 වර්ෂ­යේදී මෙහි නම “ලංකා සහ දකුණු ඉන්දීය ගුව­න්වි­දුලි සමා­ජය” ලෙස වෙනස් විය. ඉංජි­නේරු එඩ්වඩ් හාපර් මහතා මෙම සංග­මයේ කට­යුතු ඉදි­රි­යට ගෙන­යා­මට මූලික වූයේය. මුහුදේ අත­රමං වූ සබ්මැ­රී­න­ය­කින් ගල­වා­ගත් රේඩියෝ උප­ක­රණ අතු­රින් සහ වෙනත් අවශ්‍ය ගුව­න්වි­දුලි කොටස් යොදා­ගෙන ඉංජි­නේරු හාපර් මහතා, කිලෝ වොට් 1/2 ක ගුව­න්වි­දුලි සම්ප්‍රේ­ෂණ යන්ත්‍ර­යක් නිර්මා­ණය කොට, මධ්‍යම විදුලි සංදේශ කාර්යාල භූමියේ සවි කළේය. එය ලංකාවේ ගුව­න්වි­දුලි සන්නි­වේ­දන ක්‍රියා­ව­ලියේ වැද­ගත් සන්ධි­ස්ථා­න­යකි.

අත්හදා බැලීම   

1924 පෙබ­ර­වාරි 22 වැනිදා කොළඹ කොටුවේ තරුණ ක්‍රිස්ති­යානි සංගම් ගොඩ­නැ­ඟිල්ල විවෘත විය. එදින සන්ධ්‍යාවේ පැවති බට­හිර සංගීත ප්‍රසං­ගය, අත්හදා බැලී­මක් ලෙස මෙම සම්ප්‍රේ­ෂණ යන්ත්‍රය ආධාර කොට ගෙන විසු­රුවා හැර තිබේ. එය ශ්‍රී ලංකාවේ ගුව­න්වි­දුලි සන්නි­වේ­ද­නයේ සාර්ථක අත්හදා බැලී­මකි. 1924 ජූනි මස 27 වැනි දින එවක බ්‍රිතාන්‍ය ආණ්ඩු­කාර හෙන්රි විලි­යම් මැනිං මහතා ලංකා ඉංජි­නේරු සංග­මය අමතා කරන ලද කතාව ගුව­න්වි­දු­ලියේ ප්‍රචා­රය කළේය. නන්දන කරු­ණා­නා­යක මහතා “66 වස­රක ගුව­න්වි­දු­ලිය” කෘති­යෙන් පෙන්වා දෙන්නේ” ගුව­න්වි­දුලි සේවය විවෘත කිරීම, සඳහා ආණ්ඩු­කා­ර­තු­මාගේ කතාව ගුව­න්වි­දු­ලි­යෙන් ප්‍රචා­රය කිරීම ඉංජි­නේරු එඩ්වඩ් හාපර් මහතා අව­ස්ථා­වක් කොට ගත් බව ” යි.

ලංකා ගුව­න්වි­දු­ලිය 1924 ජූනි 27 වැනි දින ආරම්භ කළ බව තහ­වුරු කරන තවත් වැද­ගත් ලිඛිත සාක්ෂි සට­හ­නක් වන්නේ, 1924 වර්ෂය වෙනු­වෙන් 1925 දී තැපැ­ල්ප­ති­ව­රයා නිකුත් කරන ලද පාලන වාර්තා­වයි. ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය සේන නානා­ය­ක්කාර මහතා සිය ආචාර්ය උපා­ධිය සඳහා සම්පා­ද­නය කරන ලද පර්යේ­ෂණ නිබ­න්ධය පසු­කා­ලී­නව (2008 වර්ෂ­යේදී) “ ජාතික සංව­ර්ධ­නය සහ ලාංකේය ගුව­න්වි­දු­ලිය ” නමින් ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ­යක් ලෙස එළි­දක්වා තිබේ. එහි සඳ­හන් වන්නේ ද නිශ්චි­ත­වම ලංකා ගුව­න්වි­දු­ලිය 1924 ජූනි 27 වැනිදා ආරම්භ කරන ලද බවයි. එම කෘතියේ 44 වැනි පිටුවේ සේන නානා­ය­ක්කාර, ඩී. එම්. කොළ­ඹගේ මහ­තාගේ “ ගුව­න්වි­දුලි වංශය ” කෘතිය උපුටා දක්ව­මින් පෙන්වා දෙන්නේ, ලංකා ගුව­න්වි­දු­ලිය 1924 ජූනි 27 වැනිදා ආරම්භ කරන ලද බවයි. එය මෙසේය. “වාර්තා­ගත වී ඇති අන්ද­මට එය ආරම්භ වූයේ 1924 ජූනි මාස­යේය. 1924 ජූනි 27 වැනිදා සර් විලි­යම් හෙන්රි මැනිං, ලංකා ඉංජි­නේරු සංග­මය වෙත පණි­වු­ඩ­යක් නිකුත් කළේය. එය විසු­රුවා හරින ලද්දේ මධ්‍යම විදුලි සංදේශ කාර්යා­ලයේ සවි­ක­රන ලද ට්‍රාන්ස්මී­ටර් යන්ත්‍ර­යක් ඔස්සේ ය ”(කොළ­ඹගේ, පි-9).

තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ ලිපි­කාර සේව­යට බැඳී සේවය කළ සී. එල්. පී. ගුණ­ව­ර්ධන මහතා ලියන ලද “This is Colombo Calling” නම් ග්‍රන්ථයේ ඒ මහතා සඳ­හන් කර ඇත්තේ ලංකා ගුව­න්වි­දු­ලිය නිශ්චි­ත­වම 1924 ජූනි 27 වැනිදා ආරම්භ කළ බවයි. තවද, 1983 ඔක්තෝ­බර් 20 වන දින ගුව­න්වි­දු­ලියේ පැවති සංස්ථා මණ්ඩල රැස්වී­මේදී ගුව­න්වි­දු­ලිය 1924 ජූනි 27 ආරම්භ කළ බව සංස්ථාව නිල වශ­යෙන් පිළි­ගත් බව සඳ­හන් වේ. එම තීර­ණය මෙසේය, “The Corporation has accepted June 27, 1924 as thedate of inauguration of broadcasting in Sri Lanka -”

නව විකා­ශ­නා­ගා­රය 

ජාතික ලේඛ­නා­ර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජන­රා­ල්ව­ර­යකු වන කේ. ඩී. කේ. විම­ල­රත්න මහතා ලියන ලද “ Dates and Events”කෘතියේ සඳ­හන් වන්නේ ලංකා ගුව­න්වි­දු­ලිය නිල වශ­යෙන් ආරම්භ වී ඇත්තේ 1924 ජූනි 27 වැනිදා බවයි. එම කෘතියේ 52 වැනි පිටුවේ උපු­ට­නය මෙසේය, “ 1924.06.27 – oficial broadcasting in Oaugurated in Ceylon ලංකා ගුව­න්වි­දු­ලිය 1925 දෙසැ­ම්බර් 16 වැනිදා ආරම්භ කරන ලද බවට තවත් මත­යක් පවතී. නමුත්, එදින ගුව­න්වි­දු­ලිය පළ­මු­ව­රට ආර­ම්භ­වී­මක් සිදු වී නොමැති බව පැහැ­දි­ලිය. නන්දන කරු­ණා­නා­යක සහ සේන නානා­ය­ක්කාර යන අය සිය කෘති­ව­ලින් පෙන්වා දෙන්නේ, එදින නව උප­ක­රණ යොදා ඉදි­කළ වැඩි­බල සහිත සම්ප්‍රේ­ෂ­ණා­ගා­රය ආධා­ර­කොට වඩාත් දියුණු අදි­ය­ර­ය­කට ගෙන ආ ගුව­න්වි­දු­ලිය, 1925 දෙසැ­ම්බර් 16 වැනිදා, එව­කට බ්‍රිතාන්‍ය ආණ්ඩු­කාර හියු­ක්ලි­ෆර්ඩ් මහතා විවෘත කළ බවයි. සැබැ­වින්ම 1925 දෙසැ­ම්බර් 16 සිදු වී ඇත්තේ ගුව­න්වි­දු­ලියේ කිලෝ­වොට් එකක ධාරි­තා­ව­යෙන් යුතු නව විකා­ශ­නා­ගා­රය විවෘත කිරී­මයි. 1925 දෙසැ­ම්බර් 16 දින­මිණ පුව­ත්පත එය වාර්තා කරන්නේ, “ මෙතෙක් යොදා­ගත් පැරණි උප­ක­රණ ඉව­ත්කර ඒ වෙනු­වට මෑත­කදී ගෙනෙන ලද නව ගුව­න්වි­දුලි උප­ක­රණ සවි­ක­රණ ලද නව සේවය ආණ්ඩු­කා­ර­තුමා අද දින (දෙසැ­ම්බර් 16) විවෘත කරන බවයි”. මෙම තොර­තු­රු­ව­ලට අනුව සැක­ය­කින් තොරව ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රී ලංකාවේ ගුව­න්වි­දුලි විකා­ශන කට­යුතු ප්‍රථ­ම­ව­රට නිල වශ­යෙන් ආරම්භ කර ඇත්තේ 1924 ජූනි මස 27 වැනිදා බවයි. ඒ අනුව, අද දින සම­රනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ගුව­න්වි­දුලි විකා­ශන කට­යුතු ආරම්භ කිරීමේ ශතක සංව­ත්ස­ර­යයි.

ලංකා ගුව­න්වි­දු­ලිය යනු ආසි­යාවේ ප්‍රථම සහ ලෝකයේ දෙවන ගුව­න්වි­දුලි සේවා­වයි. ලාංකේය ශ්‍රාවක ප්‍රජාව “ දැනු­මෙන් සහ උසස් රස­වි­න්ද­න­යෙන් ”බල ගැන්වීම, ලංකා ගුව­න්වි­දු­ලියේ අර­මුණ වන්නේය. “ මහ­ජන සේවා සන්නි­වේ­ද­නය” එහි කාර්ය­භා­ර­යයි. ගුව­න්වි­දුලි ශ්‍රාව­ක­යාගේ උසස් රස වින්ද­න­යෙ­හිලා එදා මෙදා­තුර ගුව­න්වි­දු­ලි­යෙන් සුවි­ශේෂී කාර්ය­භා­ර­යක් ඉටු කර තිබේ. මෙරට ගීත සාහිත්‍ය පෝෂ­ණය වන්නේ සහ වැඩි­දි­යුණු වන්නේ ලංකා ගුව­න්වි­දු­ලියේ දාය­ක­ත්ව­යෙනි. ජාතික සංව­ර්ධ­න­යෙ­හිලා ලංකා ගුව­න්වි­දු­ලිය සිය­ව­සක කාල­යක් මුළුල්ලේ ලබා දුන් දාය­ක­ත්වය සුළු­පටු නොවේ. මානව හා භෞතික සංව­ර්ධ­න­යෙ­හිලා ගුව­න්වි­දු­ලිය සිය සන්නි­වේ­දන මෙහෙ­වර එදා මෙදා­තුර සිදු කර ඇත. ඈත එපිට ගම්මා­න­වල ජන­තාව දැනු­මෙන් සහ ධනා­ත්මක ආක­ල්ප­ව­ලින් බල­ගැ­න්වී­මට ගුව­න්වි­දු­ලිය සිය වැඩ­ස­ට­හන් නිර්මා­ණා­ත්ම­කව භාවිත කර තිබේ. ගල් ඔය, පොලො­න්න­රුව, මින්නේ­රිය, අනු­රා­ධ­පුර, මැද­ව­ච්චිය, හම්බ­න්තොට ආදී දුෂ්කර ප්‍රදේ­ශ­වල මහා සංව­ර්ධන ව්‍යාපෘ­තීන් සඳහා ගුව­න්වි­දු­ලිය ග්‍රාමීය සේවය, සන්ධ්‍යා සේවය ආදී සේවා­ව­න්ව­ලින් තොර­තුරු සන්නි­වේ­දන ක්‍රියා­ව­ලිය ශක්ති­මත් කර ඇත. කඩි­නම් මහ­වැලි සංව­ර්ධන ව්‍යාපා­රය යටතේ නව ගම්මාන සහ ගොවි­ජ­න­පද ව්‍යාපා­ර­වල අලු­තින් පදිංචි කළ පුර වැසි­යන්ගේ නන්විධ සමාජ, සංස්කෘ­තික, ආග­මික සහ අධ්‍යා­පන අව­ශ්‍යතා සඳහා “ ප්‍රජා ගුව­න්වි­දුලි සේවා” වෙතින් තොර­තුරු සන්නි­වේ­දන ක්‍රියා­ව­ලිය සිදු­ක­රන ලදි. එම­ගින් එම ජන­ප­ද­වා­සීන්ගේ සන්නි­වේ­දන අව­ශ්‍ය­තා­වන්, ජිව­නෝ­පාය මාර්ග සවි­බල ගැන්වීම සඳ­හාත් ගුව­න්වි­දු­ලිය සන්නි­වේ­දන මාධ්‍ය­යක් ලෙස සිය දාය­ක­ත්වය සපයා ඇත. ගුව­න්වි­දු­ලිය සිය ශ්‍රාවක ප්‍රජා­වගේ පරි­ක­ල්පන ශක්තිය වැඩි­දි­යුණු කිරී­මට ලබා දුන් වෙසෙසි දාය­ක­ත්වය ද මෙහිදී විම­සිය යුතුය. ගුව­න්වි­දු­ලිය යනු හඬ මාධ්‍ය­යකි. ශ්‍රාව­ක­යාගේ මනසේ වදන් සිතු­වම් මැවීම හඬ මාධ්‍ය­යෙහි ඇති විශේෂ ලක්ෂ­ණ­යයි. සිය­ව­සක් මුල්ලේ ජාතික ගුව­න්වි­දු­ලිය ශ්‍රාවක මනසේ සිතු­වම් කරන වදන් චිත්‍රය එම ශ්‍රාව­ක­යාගේ පරි­ක­ල්ප­නීය ශක්තිය දියුණු කිරී­මට ආධා­රක වූයේය.

සමාජ සේව­කයා    

සිය­වස් සපු­රන ලංකා ගුව­න්වි­දු­ලි­ය­ටම අනන්‍ය වූ වැඩ­ස­ට­හන් ආකෘති බොහො­ම­යක් තව­මත් ශ්‍රාව­ක­යාගේ සන්නි­වේ­දන අව­ශ්‍ය­තාව සඳහා ප්‍රචා­රය කෙරේ. “ගුව­න්වි­දුලි ධර්ම දේශ­නාව ”ඉන් එක් ආකෘ­ති­යකි. 1928 පෙබ­ර­වාරි 27 වැනිදා ප්‍රථම ධර්ම දේශ­නය ගුව­න්වි­දු­ලියේ ප්‍රචා­රය වී තිබේ. බම්බ­ල­පි­ටිය වජි­රා­රා­මා­ධි­පති පැලෑනේ සිරි වජි­ර­ඥාන ස්වාමී­න්ව­හන්සේ ප්‍රථම ධර්ම දේශ­නය පැවැත්වූ දේශ­ක­යා­ණන් වහ­න්සේයි. එදා සිට අද දක්වා ගුව­න්වි­දු­ලිය සුච­රි­ත­වාදී, සදා­චාර සම්පන්න සමා­ජ­යක් ගොඩ­නැං­වී­මෙ­හිලා ධර්ම සන්නි­වේ­ද­න­යෙහි නිර­තව ඇත්තේය.

බ්‍රිතා­න්‍යයේ ගුව­න්වි­දුලි නාට්‍ය, ආභාස කොට ගනි­මින් ලංකා ගුව­න්වි­දු­ලිය ද ගුව­න්වි­දුලි නාට්‍ය ප්‍රචා­රය කිරීම ආරම්භ කර ඇත්තේ 1930 දශ­ක­යේය. ලංකා ගුව­න්වි­දු­ලියේ ප්‍රචා­රය වූ ප්‍රථම නාට්‍ය “ සමාජ සේව­කයා ”ය. එහි පිට­ප­තෙන් සහ හඬ රංග­න­යෙන් දායක වී ඇත්තේ පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම විධා­යක ජනා­ධි­පති ලෙස පත්වූ ජේ.ආර්. ජය­ව­ර්ධන මහ­තාය. 1939 මාර්තු 29 වැනිදා මෙම නාට්‍යය ගුව­න්වි­දු­ලියේ සජී­වීව ප්‍රචා­රය වී ඇත. සිය­වස් සපු­රන ලංකා ගුව­න්වි­දු­ලියේ ගුව­න්වි­දුලි නාට්‍ය කලාව නව මාව­ත­කට ප්‍රවිෂ්ට වන්නේ “ මහා­චාර්ය එදි­රි­වීර සර­ච්චන්ද්‍ර මහ­තාගේ” මැදි­හ­ත්වී­මෙනි. ඔහු විසින් ගුව­න්වි­දුලි රඟ­ම­ඬල, ඒකාංග නාට්‍ය, මාලා නාට්‍ය, කෙටි කතාව, යෞවන සමා­ජය, විශ්ව සාහිත්‍ය ආදී වශ­යෙන් නව ගුව­න්වි­දුලි නාට්‍ය හා සාහිත්‍ය රසා­ස්වාද වැඩ­ස­ට­හන් ආකෘති රාශි­යක් ගුව­න්වි­දු­ලි­යට හඳුන්වා දී තිබේ. අද ද මෙම ආකෘ­තීන්ට අයත් වැඩ­ස­ට­හන් ගුව­න්වි­දු­ලියේ ප්‍රචා­රය වන්නේ මෙරට ශ්‍රාවක ප්‍රජා­වගේ උසස් රස­වි­න්දන අව­ශ්‍යතා සංතෘප්ත කිරීම වෙනු­වෙනි.

සිය­වස් සපු­රන ගුව­න්වි­දු­ලිය තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් ආය­ත­න­යක් ලෙස ආරම්භ කර තිබේ. එය 1949 ඔක්තෝ­ම්බර් 01 වැනිදා සිට ස්වාධීන දෙපා­ර්ත­මේ­න්තු­වක් වී ඇත. “1966 අංක 37 දරන ලංකා ගුව­න්වි­දුලි සංස්ථා පන­තින් ”ගුව­න්වි­දු­ලිය ස්වාධීන සංස්ථා­වක් බවට පත් විය. ඒ, 1967 ජන­වාරි 05 වැනි­දායි. අඩ සිය­ව­ස­කට වැඩි කාල­යක් ගුව­න්වි­දු­ලිය සංස්ථා­වක් ලෙස ක්‍රියා­ත්ම­කව තිබේ. ලාංකේය ගුව­න්වි­දුලි කර්මා­න්තය පම­ණක් නොව ලෝක ගුව­න්වි­දුලි සන්ද­ර්භ­යේද මේ කාලයේ විශාල ව්‍යුහා­ත්මක වෙන­ස්කම් සිදුව ඇත. මේ කාල­ප­රා­ස­යේදී තාක්ෂ­ණික වශ­යෙන් ගුව­න්වි­දු­ලිය සීඝ්‍ර පරි­ව­ර්ත­න­ය­කට ලක්ව තිබෙන අතර, ගුව­න්වි­දු­ලිය යනු නිවසේ ආලි­න්දයේ තැන්ප­ත්කර ඇති භෞතික උප­ක­ර­ණ­යක් නොවන මට්ට­මට එහි භෞතික ස්වරූ­පය ද වෙනස්වී ඇත. අද ගුව­න්වි­දු­ලිය සමාජ මාධ්‍යයේ පරි­ශී­ල­නය වන ශ්‍රව්‍ය පම­ණක් නොවන දෘශ්‍ය මාධ්‍ය ද ආධා­රක කොට ගත් (Visual Radio) දෘශ්‍ය ගුව­න්වි­දු­ලි­යකි. ගුව­න්වි­දු­ලිය යනු සම­කා­ලීන සමාජ සන්ද­ර්භයේ අත්ල මත තිබෙන ජංගම දුර­ක­ත­නයේ තවත් එක් යෙද­වු­මක් පමණි. එය එත­රම් සුහුරු (Smart සහ මෘදු Soft) මෙව­ල­මක් බවට පත්ව ඇත්තේය. ගුව­න්වි­දු­ලිය නම්වූ භෞති­කය මෙත­රම් නවී­ක­ර­ණය වී ඇති සමාජ සන්ද­ර්භ­යක ගුව­න්වි­දුලි ශ්‍රාව­ක­යාගේ මනෝ­භා­ව­යන් තේරුම් ගැනීම ද වැද­ගත්ය.

සන්නි­වේ­දන අභි­ම­තා­ර්ථ

සම­කා­ලීන සමාජ සන්ද­ර්භයේ ගුව­න්වි­දුලි ශ්‍රාව­ක­යාගේ පම­ණක් නොව සමස්ථ මානව සමා­ජ­යේම මනෝ­භා­ව­යන් අති­ශය සංකීර්ණ වී ඇත්තේය. එම සංකීර්ණ මනෝ­භා­ව­යන් තේරුම් ගනි­මින් ඊට අනු­කූ­ල­වන පරිදි ස්වකීය වැඩ­ස­ට­හන් සහ ආම­න්ත්‍රණ ශෛලීන් සකස් කර ගැනීම ගුව­න්වි­දුලි සන්නි­වේ­ද­කයා හමුවේ ඇති අභි­යෝ­ගය වන්නේය. ගුව­න්වි­දු­ලිය යනු හුදු ශ්‍රවණ මාධ්‍ය­යක් පම­ණක් නොවේ. අද වන විට ගුව­න්වි­දු­ලිය දෘශ්‍ය මාධ්‍ය­යකි. ශ්‍රාව­කයා ගුව­න්වි­දු­ලිය වෙත ආක­ර්ෂ­ණය කර ගැනී­මට එහි දෘශ්‍ය මුහු­ණු­වර වැද­ගත් වන්නේය. එකී ප්‍රව­න­තා­වන් අව­බෝධ කර ගනි­මින් යථා­යෝගී ලෙස සිය සන්නි­වේ­දන ක්‍රම­වේද සක­ස්කර ගැනීම ගුව­න්වි­දු­ලිය හමුවේ ඇති අභි­යෝ­ග­යන්ය. තාක්ෂ­ණය සමඟ මුසුව නව්‍ය­ක­ර­ණය වූ ගෝලීය සමාජ සන්ද­ර්භ­යට ගැළ­පෙන පරිදි ගුව­න්වි­දු­ලියේ පරි­පා­ලන ව්‍යුහ­යන්ද ප්‍රති­සං­වි­ධා­න­ය­වීම කාලීන අව­ශ්‍ය­තා­වකි. “මහ­ජන සේවා සන්නි­වේ­දන අභි­ම­තා­ර්ථය” ආරක්ෂා කර­ග­නි­මින් නූතන ග්‍රාහක සමා­ජයේ සන්නි­වේ­දන අව­ශ්‍ය­තා­වන්ට ගැළ­පෙන පරි­පා­ලන ව්‍යුහ­යක් සහ සන්නි­වේ­දන ක්‍රමෝ­පා­යික සැලැ­ස්මක් මත පද­නම්ව ශ්‍රී ලංකා ගුව­න්වි­දු­ලිය ඉදිරි සිය­වස සඳහා පිඹු­රු­පත් සකස් කර ගත යුතුය.

ඉන්දික ජය­රත්න   

සිංහල සේවා අධ්‍යක්ෂ  

ශ්‍රී ලංකා ගුව­න්වි­දුලි සංස්ථාව   

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x