මෙවර කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවේ වාර්ෂික අධ්‍යාපන චාරිකා අතර වූ සුවිශේෂී චාරිකාවක් පසුගිය 13 වැනිදා සිදුකෙරිණි.
එහිදී පසුගිය 13 දා උදෑසනම විදුහලේ ප්‍රාථමික අංශය අසලින් බස් රථ පහකින් චාරිකාව ආරම්භ කළ හතර ශ්‍රේණියේ සිසුවියන් පළමුව මහියංගණය රජමහා විහාරය වන්දනා කර ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සුවිශේෂී සංස්කෘතික හුවමාරු වැඩසටහනකට සහභාගි වීම සඳහා දඹාන ආදිවාසී ගම්මානයට යාමට පිටත් වී තිබේ. එදින (13) දහවල වන විට දඹානට ළඟා වූ මෙම පිරිස ආදරයෙන් පිළිගත් ආදිවාසී නායක වන්නිලැ ඇත්තන්, දරුවන්ට තම ප්‍රදේශයේ වටිනාකම, ආදිවාසී ජන ජීවිතය, ඔවුන්ගේ සිරිත් විරිත් සහ අපි සොබාදහම රැකිය යුත්තේ කුමක් නිසා ද යන කරුණු පිළිබඳ ඉතා අපූරු ලෙස කියා දී තිබේ. “ජීවිතය නමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවන බවත්, මිනිසා එහි නූල්පටක් පමණක් බවත්, ඒ දැලට යම්කිසි හානියක් කරගතහොත් එය තමාටම කරගන්නා හානියක්” බවත් පෙන්වා දුන් රතු ඉන්දියානු නායක සියැටෙල් මෙන්ම ආදිවාසී නායකතුමන් ද ළමා මනසට ගෝචර වන ආකාරයට පරිසරයේ වටිනාකම කියා දී ඇත. මෙහිදී ජූනි 14 වැනි දිනට යෙදුණු වන්නිලැ ඇත්තන්ගේ 77 වැනි ජන්ම දිනයට සුබ පැතුම් එක් කළ සාන්ත ජෝසප් සිසුවියෝ එතුමා සතුටු කිරීම සඳහා නර්තනාංග දෙකක් ද ඉදිරිපත් කළහ. ඉන්පසු ආදිවාසී වැඩිහිටියෝ කිහිපදෙනෙක් කිරි කොරහා නර්තනයේ යෙදෙමින් විදුහල්පතිතුමිය ප්‍රමුඛ චාරිකාව සඳහා සහභාගි වූ සියලු දෙනාටම ආශීර්වාද කළහ.
මේ සියල්ල අවසානයේදී ආදිවාසී ජනතාවට රස කැවිලිවලින් සංග්‍රහ කිරීමටත්, පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමටත් කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විදුහලේ විදුහල්පතිනි ගංගානි තිලකරත්න මහත්මිය, ප්‍රාථමික අංශ බාර ප්‍රධාන සහකාර නියෝජ්‍ය විදුහල්පති ප්‍රමුඛ ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලය සහ 4 ශ්‍රේණියේ මවුපියන් විසින් කටයුතු කරන ලදි.
දරුවන් සහ ආදිවාසීන් අතර සුහද කතාබහේදී භාෂා පරිවර්තනය කරන ලද්දේ කෑගල්ල පානකාව විදුහලේ විදුහල්පති බස්නායක මහතා විසිනි.
තක්ෂිලා උදයංගනී