කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ වත්මන් සභාපතිවරයා විසින් තම නමට නීති විරෝධී ලෙසින් ලියාගන්නා ලද, සමුපකාර සමිතියට අයත් ඉඩම යළි සමුපකාර සමිතිය වෙතටම පවරා නිවැරදි කරන ලෙසට වයඹ සමුපකාර සංවර්ධන කොමසාරිස් රෙජිස්ට්‍රාර් වසන්ත ගුණසේකර මහතා විසින් එම සමිතියේ ලේකම් වෙත දැනුම් දී ඇතැයි එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි. සභාපතිවරයාගේ මෙම අනීතික ක්‍රියාව මාධ්‍ය මඟින් අනාවරණය කිරීම හා මේ සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධානය යොමු කරවීම පිළිබඳව මාධ්‍යයට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ කෘතඥතාව ද පිරිනමනු ලැබිණි.
කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ වත්මන් සභාපතිවරයා වන ඒ.සී. සලාහුදීන් මහතාට මෙම චෝදනාව එල්ල වී ඇත. එම සමිතියට අයත් කෝටි පහකට වඩා වටිනාකමකින් යුතු ඔප්පු අංක 6126 (1992.01.23) දරන ඉඩමේ ඔප්පුව අංක 3868 (2023.04.11) වශයෙන් වෙනස් කොට එම ඔප්පුව සභාපතිවරයාගේ පෞද්ගලික නමට ලියා ගැනීම මෙම චෝදනාව වේ.
ඒ අනුව Òපරංගි වත්ත Ò නම් ඔප්පු අංක 3868 දරන අක්කර දෙකයි, රූඩ් තුනයි, පර්චස් 12.45ක් වන එම ඉඩම යළි සමිතියට හිමිකම් පැවරෙන ලෙස නිවැරදි කොට පවරා ගන්නා ලෙසට සමිතියේ ලේකම් වෙත ලිඛිතව දන්වා ඇතැයි මෙම චෝදනාව ගොනු කරන ලද, හිටපු අධ්‍යක්ෂවරයකු වන ඒ.ඒ. මුසම්මිල් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති වත්මන් සභාපති ඒ.සී. සලාහුදීන් මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවේ ඒ මහතා කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කර තිබිණි. ඔහු පවසා ඇත්තේ නිලධාරින් සියලු දෙනා හමුවේ තමා අදහස් දක්වීමට කැමති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමුපකාර සමිතියේ ලේකම් ෆිලීෂියා ප්‍රේමණී මහත්මිය මේ වන විට තරමක් දුරට කරුණු ගොනු කරගෙන ඇති බවත් වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සමුපකාර සංවර්ධන කොමසාරිස්ගේ ලිපිය යොමු කර ඇති බවත් ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට නියෝග කර ඇති බවත් කීවාය.
වත්මන් සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික එස්. උදය කුමාර් මහතා මෙහිදී පැවසූයේ මෙම ඉඩම වහාම යළි සමිතියට පවරා වරද නිවැරදි කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මෙම ලිපිය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලැබීමට ප්‍රමාද වූ බවත්ය.
කල්පිටිය සමූහ
කුමාරී පද්මලතා