Home » තද සුළඟකින් කුරුණෑගල නිවාස 70කට බර හානි

තද සුළඟකින් කුරුණෑගල නිවාස 70කට බර හානි

by sachintha
June 26, 2024 2:46 am 0 comment

කුරුණෑගල ප්‍රදේශය හරහා පෙරේදා (24) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟකින් මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රත්කරව්ව, හෙට්ටිගෙදර, කිඩපොල, ලෝකාහෙට්ටිය යන ප්‍රදේශවල නිවාස 70 කට ආසන්න ප්‍රමාණයකට අලාභහානි සිදුව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වර්ෂාපතනයත් සමඟ මෙම සුළඟ විනාඩි පහක් වැනි කාලයකදී හමාගොස් තිබෙන අතර බොහෝ නිවාස මතට ගස් කඩා වැටීමෙන් සහ වහලවල් සුළඟට හසුව ගැලවී යාමෙන් එම අලාභහානි සිදුව ඇත. ගස් වැටීමෙන් විදුලි සැපයුම් මාර්ගවලටද අලාභහානි සිදුව තිබේ.

අධික ශබ්දයක් නඟමින් සුළඟ පැමිණි බවද ඉතා කෙටි කාලයක් තුළ තම නිවාස සුළඟින් හානියට පත්වූ බවද එම ප්‍රදේශවල ජනතාව පැවසූහ. බියට පත් ජනතාව නිවෙස්වලින් එළියට පැමිණ සිටීම හේතුවෙන් ජීවිත හානි හෝ තුවාලවීම් වාර්තා වී නැති බවද කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

සුළඟින් වැඩිම හානියක් සිදුව තිබෙන්නේ රත්කරව්ව හා කිඩපොල ග්‍රාම නිලධාරි වසම් වලට බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වවරයාගේ උපදෙස් අනුව යුද හමුදාව යොදවා ඇද වැටී ඇති ගස්කොළන් කපා ඉවත් කර නිවාස හැකි උපරිමයෙන් පිළිසකර කරදීමට පියවර ගත් බවද විරාජ් දිසානායක මහතා සඳහන් කළේය.

මේ දිනවල වයඹ ඇතුළු පළාත් කීපයකට මිලිමීටර් 100ක පමණ තද වැසි සමඟ විටින් විට හමන කිලෝමීටර් 40, 50ක පමණ වේගයෙන් හමා යන තද සුළං ද ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවා ඇති බැවින් ජනතාව ඒ පිළිබඳව අවධානයකින් සිටිය යුතු බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

කුරුණෑගල අතිරේක

පුෂ්පකුමාර ජයරත්න

කුරුණෑගල- කුමාරි දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT