Home » දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඉදිරි වැඩ යුද හමුදාවෙන්

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඉදිරි වැඩ යුද හමුදාවෙන්

-ඇමැති හරීන්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

by sachintha
June 26, 2024 3:47 am 0 comment

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිරි සංවර්ධන කටයුතු යුද හමුදාව වෙතින් ඉටු කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (25) පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.‍

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට අදාළව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින හා ක්‍රියාත්මක කිරීමට යෝජිත නව උප ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ඉටු කරවා ගැනීමට 2024-01-08 වැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව ද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව එම ක්‍රීඩාංගණයේ කනිෂ්ඨ ක්‍රීඩාගාරයෙහි සහ නව මලල ක්‍රීඩාපිටියේ දෙවැනි නැරඹුම් පීඨිකාවෙහි වහල ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් එකී ඉදිකිරීම් කාර්යයන් ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ඉටු කරවා ගැනීමටත් ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බවත් ඒ මහතා කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

‘දැනට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය මීටත් වඩා තව අදියරකින් ජාත්‍යන්තර මට්ටමකට ගෙන යෑමට අවශ්‍ය සංවර්ධන සැලසුම් රාශියක් සකස් කර තිබෙනවා. ඒ සැලසුම් පිළිබඳ ඉදිරියේදී දැනුම්වත් කරයි. දැනටමත් එහි බොහෝ කොටස් සිදු කරන්නේ යුද හමුදාව මඟින්. අලුතින් ආරම්භ කරන ව්‍යාපෘතිත් යුද හමුදාව ලවා කරවා ගැනීමට කැබ්නට් අනුමැතිය ලැබුණා.’

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT