Home » බෝරා සමුළුවට ශ්‍රී ලංකාවේ උපරිම සහාය

බෝරා සමුළුවට ශ්‍රී ලංකාවේ උපරිම සහාය

by sachintha
June 26, 2024 2:04 am 0 comment

ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට රජයේ උපරිම සහාය ලබාදෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙරට දී පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය දෙන ලෙස ඒ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සාගල රත්නායක මහතා මෙලෙස උපදෙස් දුන්නේ බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය ගැන ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (24) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය.

පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූලි මස 7 වැනිදා සිට 16 වැනිදා දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ බෝරා සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වේ.මේ ප්‍රදර්ශනය සහ සමුළුවට ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීම ගැන මෙහිදී දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරිණි.

විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා රේගුව,ආගමන විගමන දෙපාර්තමේන්තුව,කොළඹ මහනගර සභාව,ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය,ශ්‍රී ලංකා පොලීසිය,මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT