රටට සුබ ආරංචියක් එන බව දැනගත් සමහරු භූමිතෙල් ගෑවුණු ගැරඩි වගේ හතර අතේ දිවීමට පටන් ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (24) උදෑසන ඇමැතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතාමත් කාර්යක්ෂම ආකාරයෙන් කටයුතු කරන ආයතනයක්.විදේශ ගත ශ්‍රමිකයන්ගේ මුදල් නීත්‍යානුකූලව රටට ගෙන්වා ගැනීම සඳහාත් කාර්යක්ෂමව කටයුතු කළා.මේ රටට වින කරන,කවදාවත් මේ රට ගොඩගන්න ඉඩ දෙන්නේ නැති, මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන්නේ නැති, ජනතාව පෝලිම්වල මැරෙනවාට කැමැති,බෙහෙත් නැතිව මැරෙනවාට කැමැති,පාසල් වහලා තිබෙනවාට කැමැති,විදුලිය, කිරිපිටි නැතිවෙනවාට කැමැති අය රටට සල්ලි එවන්න එපා කිව්වා.කවුරුවත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ තමයි එහෙම කිව්වේ.ඒත් විදේශ ගත ශ්‍රමිකයන් පසුගිය වසර දෙකේදී අමෙරිකානු ඩොලර් බිලියන 12ක විතර මුදලක් මේ රටට එවා තිබෙනවා.රටට නැවත හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න,ජනාධිපතිගේ වැඩපිළිවෙළට ශක්තියක් වුණේ විදේශ ගත ශ්‍රමිකයන්,බලපත්‍රලාභීන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි.
විගමණික ශ්‍රමිකයන් ලක්ෂයක් සවිබල ගන්වා,විගමණික ශ්‍රමිකයන් හරහා ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කර තිබෙනවා.තෙල් නැති,ගෑස් නැතිව තිබුණ රට කෙමෙන් කෙමෙන් ගොඩ එනවා.දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න සමහර අය රට ගොඩ එනවාට කැමැති නෑ. අද රට පුරාම සුබ ආරංචියක් කියා පෝස්ටර් ගහලා තිබුණා. සමාජ මාධ්‍යවල ගොඩක් අයගේ ඉත්තෑවෝ දුවනවා මම දැක්කා. ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ. මේ ගැන කියන්න මට වචනත් නෑ. කලබල වෙලා. සුබ ආරංචියක් එනවාට මේ අය බයයි. රටට සුබ ආරංචියක් එනකොට අපට ගොඩ යන්න බැරිවේවිද කියා තමයි ඒ අය හිතන්නේ.මිනිස්සු අමාරුවේ වැටෙන එක නතරවේවිද කියලා බය වෙලා ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ හතර අතේ දුවන්න අරගෙන තිබෙනවා. රටේ මිනිසුන්ට ආදරේ නම්, රටේ ජනතාවට ආදරේ නායකයෙක් නම්, රටට සුබ ආරංචියක් එන විට හැමෝම සතුටුවෙන්න ඕනෑ.
රටට අසුබ ආරංචි වෙනකම් බලාගෙන හිටපු අයට නම් ඉදිරියේදී අසුබ ආරංචි තමයි එන්නේ.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටට ආදරේ අයෙක් විදියට,මේ අභියෝගය භාරගත්තා.රටේ මිනිසුන්ට ආදරේ නොකරන,තමන්ගේ තනතුරට විතරක් ආදරේ නායකයා එදා අගමැතිකම භාරගන්න කිව්වාම භාරගත්තේ නෑ.රට වටේ කයිය ගහගෙන යන කයිය නායකයාත් එහෙමයි.භාරගන්න කිව්වාම තමන්ගේ තනතුර ගැන විතරක් හිතුවා.රටේ ජනතාවට ආදරේ කරන රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැති ධූරය භාරගත්තේ රටේ ජනතාවට ආදරේ නිසා. අද රට හරි තැනට,යළි නොවැටෙන රටක් බවට පත් කිරීම ගැන එතුමාට රටක්,ජාතියක් ලෙස කෘතඥ විය යුතුයි.
විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර,රාජ්‍ය ඇමැති විජිත බේරුගොඩ,ආණ්ඩුකාර එම්.මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක,හිටපු ඇමැතිනී සුමේධා ජී. ජයසේන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
සුභාෂිණි සේනානායක