Sunday, April 20, 2025
Home » පුංචි දෝනි හුරතලේට තාත්තාගේ බෙල්ලෙ එල්ලිලා

පුංචි දෝනි හුරතලේට තාත්තාගේ බෙල්ලෙ එල්ලිලා

-ත්‍රිරෝදය පාලනයෙන් ගිලිහී දැරිය මරුට තාත්තා රෝහලේ

by sachintha
June 26, 2024 2:53 am 0 comment

ත්‍රිරෝද රථය පදවමින් සිටි පියාගේ ගෙලෙහි ආදරයට දැරියක එල්ලීම හේතුවෙන් පියාට ත්‍රිරෝද රථය පාලනය කිරීමට නොහැකිව විදුලි කණුවක ගැටී සිදු වූ අනතුරකින් එම දැරිය මිය ගොස් ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ එම්.ජී. හාන්‍යා හෙසල් ප්‍රනාන්දු නමැති වයස අවුරුදු එකහමාරක දැරියකි.

ත්‍රිරෝද රථය පැදවූ පියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මිත්තනියද සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මියගිය දැරිය මිත්තනිය මව හා පියා සමඟ ත්‍රිරෝද රථයෙන් මීගමුවට ගොස් තිබූ අතර මව රැකියාවට යාම සඳහා මීගමුවෙන් බැස ඇතැයි පොලිසිය සඳහන් කළේය.

මියගිය දැරිය මිත්තණිය සමඟ ත්‍රිරෝද රථයේ පිටුපස අසුන්ගෙන නිවස කරා පැමිණ ඇති අතර පියා ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී එකවරම පිටුපස සිට පියාගේ ගෙල බදාගෙන ඇති අතර එම අවස්ථාවේදී පියාට රථය පාලනය කර ගත නොහැකි වී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් විදුලි කණුවක ගැටීමත් සමඟම දැරිය විසි වී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනාම මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය මියගොස් ඇති අතර පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

දිවුලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අධිකාරි මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT