Home » IMF මාර්ග දැක්මෙන් ඉදිරි ඉලක්කය සපුරා ගත යුතුයි

IMF මාර්ග දැක්මෙන් ඉදිරි ඉලක්කය සපුරා ගත යුතුයි

-විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින් අබේසේකර

by sachintha
June 26, 2024 3:42 am 0 comment

ශ්‍රී ලාංකේය ආර්ථිකයට හුස්මක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලැබුණු වග අවිවාදිතය. එම ණය වාරික සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මඟින් මෙරට ආර්ථිකය සංවර්ධිත මට්ටමට රැගෙන යෑමට ආලෝකයක් සපයා ගැනීම ආර්ථික විද්‍යාඥයන්ගේ අපේක්ෂාවකි. නොබෝ දිනකින් ඒ යටතේ ඉදිරි ණය වාරිකය ද මෙරටට ලැබෙනු ඇත. ඒ අනුව බැලුව ද ඉකුත් කාලයේදී පැවැති දුෂ්කරතාවලින් මිදී මෙරට යම් ස්ථාවරයකට පත්වී තිබෙන මෙකල තවදුරටත් මෙරට සංවර්ධන මාවතේ ඉදිරියට යෑමට නම්, අප ගත යුතු මඟ කුමක්ද? ඒ පිළිබඳ අපි දැන් දෙස්, විදෙස් ප්‍රකට තරුණ විද්වතකු වන, විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, මහාචාර්ය නලින් අබේසේකර මහතා සමඟ කතාබහ කරමු.

මූල්‍ය සාක්ෂරතාවක් අපට ඕනෑමයි

වෙනත් රටවල ව්‍යවසායකයන්ට ඉහළ පිළිගැනීමක් ලැබෙනවා

ථේරවාද බුදු දහම සංචාරක කර්මාන්තයේ දියුණුවට රුකුලක්

රටක් විදියට අපිට මොකද වුණේ?

අපි නිදහසෙන් පස්සේ කාල වකවානුව ගැන මිසෙක හුඟක් දුරට ඉන් එපිට ඉතිහාසය ගැන කතා කරන්නේ නැහැනේ. යටත්විජිත පාලන කාලය ඇතුළු ඒ පිළිබඳ කතා කළ යුතු තවත් පැති තියෙනවා. අපට නිදහස ලැබිලා මෙතරම් කලක් ගත වුණත්, ආර්ථික අතින් එතරම් පැහැදිලි දර්ශනයක් තවමත් අපට නැහැ. අලෙවිකරණය වුණත් නිසි අධ්‍යයනයකින්, ඇගයීමකින් තොරව රටට ඈඳා ගත් බවක් තමයි පෙනෙන්නේ. කොළඹ අගනගරය විදියට නම් කිරීමත් එහිලා එක් නිදසුනක්. අනෙක, කෘෂිකාර්මික රටක් විදියට අපට අදටත් ඒ ගැන වෙනත් කියවීමකුත් නැහැනේ. හැබැයි ආපසු හැරී බැලීමක් රටට අත්‍යවශ්‍යයි. නිදහසෙන් පස්සේ අපි කොතැනටද ගියේ, ඒ අනුව බැලුවත් සැබෑ ආර්ථික නිදහසක් අපට ලැබුණාද, කියන ප්‍රශ්නය එවිට පැන නැඟෙනවා. යැපුම් ආර්ථිකයක් කර පින්නාගෙන අපි මෙතෙක් බොහෝ දුරක් පැමිණි බවත් එවිට පෙනෙන්නට තිබෙනවා. ජනසවිය, සමෘද්ධිය ආදිය දුගීකමෙන් ජනතාව ගලවනවාට වඩා ඡන්ද මැෂින් විදියටයි හඳුනාගන්න ලැබෙන්නේ. ඒක එහෙම වෙන තාක් කල් මෙරටට ව්‍යවසායකයන් වැඩි නොවීම සාමාන්‍ය දෙයක්. එකම අමාත්‍යාංශයක් යටතේ ඇති ආයතන වුණත් එකම රාමුවකට ගෙනැවිත් ඇති බවක් තවම එතරම් පෙනෙන්නට නැහැ. රාජ්‍ය සේවකයන් ලක්ෂ 4ක් පමණ ඇති වුණත් ලක්ෂ 15ක් විතර ඉන්නවානේ. ඒ හැමෝටම කාර්ය ඵල දර්ශකයක් දැන්වත් ගෙන එන්න වෙනවා. එහෙම වැඩපිළිවෙළක් නොවුණොත්, මේ අර්බුදය උඩ, යට යමින් අප අතරම රැඳෙනු ඒකාන්තයි. අපි සුසමාදර්ශී වෙන්න ඕනෑ කියලා කියන්නේ ඒ නිසයි.

අපි වර්ෂ 2019දී සංචාරකයන් ලක්ෂ 25ක් පමණ අපේක්ෂා කළා. ඒත්, ත්‍රස්ත ප්‍රහාරයෙන් එය වැළකුණා. ඉන් පසුවත් දෙවසරක් පමණ අපට කොවිඩ් වසංගතයෙන් බැට කන්නත් වුණා. අන්තිමේදී අකාර්යක්ෂමතාව, වංචා දූෂණ නිසා මෙරටට තෙල් නැවකට ඩොලර් මිලියන 50ක් සොයාගන්නත් අපහසු තත්ත්වයක් ඇති වුණා. එවේලේ අපට තිබුණු එකම බුද්ධිමත් විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමයි.

ඒත්, රජයකින් සහනාධාර නොදී කොහොමද?

සහන දෙන්න ඕනෑ නැතැයි කියනවා නෙවෙයි. ඒත්, අනිවාර්යෙන්ම ලැබිය යුතු පිරිස තෝරා බේරාගෙන ඒ අයටයි දෙන්න ඕනෑ. ඒ වුණත් ව්‍යවසායකත්ව නැඹුරුවක් වන විදියටයි, ඒ කරුණයි මේ මතු කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වුණත් මෙරටට වඩාත්ම අවධාරණය කරන්නේ අකාර්යක්ෂමතාවත් වංචාවත් කියන කරුණු දෙකමයි. රට ලෝකයට ණය වෙනවා. ඒ රටේ හුඟක් මිනිස්සු රටට ණය වෙනවා. ණයවර පත් සොයනවා. එහෙම රටකට ආර්ථික දියුණුවක් කොයින්ද? හැබැයි, බෞද්ධ දර්ශනය අණන සුඛයයි අවධාරණය කරන්නේ. එහෙම නොවීමේ විපාක අපි රටක් විදියට අත්විඳ තියෙනවා. ඒ ගැන විස්තර කරනවා නම්, ත්‍රිරෝද රථයක් අරන් හයර් දුවන කෙනාට අපේ රටේ මාර්කටින්වලින් ආරාධනා කරන්නේ, ත්‍රිරෝද රථය විකුණලා කුඩා මෝටර් රථයක් ගන්නයි. ඒ වෙනුවෙන්, මාසෙට රුපියල් හැටදාහයි, දවසට දෙදාහයි කියලානේ ණය ගන්න පොලඹවන්නේ.

ඒ අනුව මෝටර් රථයක් ගන්නා තැනැත්තාට ඉන් පස්සේ ඊට එහා ජීවිතයක් නැති වෙනවා. එයා උදේටත් මහ පාරේ. රෑටත්, අලුයමත් එතැනමයි. ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, බ්ලඩ් ෂුගර් ආදී රෝග පීඩා ගැනවත් වගේ වගක් නැතිව මාසික වාරිකය ගෙවන රේස් එකේ දවස තිස්සේ දුවනවා. ඒ හැර වෙනත් ජීවිතයක් නැති වෙනවා. මහ මඟදීත් ආත්මාර්ථකාමිත්වයටමයි පෙලඹෙන්නේ. ඕකයි තත්ත්වේ. ඉතින් මේ වෙලා තියෙන්නේ වැඩි දෙනකුට මූල්‍ය සාක්ෂරතාවක් නැතිකමයි.

මේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලන මුල් වතාව නෙවෙයිනේ, අපි මුලින්ම වර්ෂ 1950දීයි ඊට ඇතුළු වුණේ. වර්ෂ 1965දී අපි රටක් විදියට එහි පළමු ණය ගත්තේ. ඒ අනුව මේ එළැඹෙන්නේත් අපි තවත් ණය වාරිකයක් අපේක්ෂා කරන කලදසාවක්නේ. හැබැයි, මේ වාරිකයෙන් පස්සේ අපි ඊළඟට ලෝකයාට ණය නොවී ඉමු කියලා කතාබහක්, රැල්ලක්, වාද විවාදයක් අපේ සමාජයේ නැහැනේ. ඒකයි, අපි දිළිඳුකමේ දුෂ්ට චක්‍රයට අහුවෙලා කියලා ආර්ථික විද්‍යාඥයන් කියන්නේ. ඒත්, තවදුරටත් එහෙම බැහැ. අපිට 2050දී වත් ළඟා විය හැකි ඉලක්කයක්, දැක්මක් අත්‍යවශ්‍යයි. ඒකයි මේ වෙද්දී අපේ මූලික වෙන්න ඕනෑ. ඉතින්, මූල්‍ය සාක්ෂරතාවක් අපට ඕනෑමයි.

ඉදිරි වසර ගණනාව තුළදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි, එකඟතා අනුවයි මෙරට කටයුතු කෙරෙන්නේ?

ඔව්. රටක් විදියට ඉදිරියට යෑමේදී මූල්‍ය විනය, ආර්ථික ප්‍රතිපත්ති මෙරටට වැදගත්නේ. ඒ අනුව එහි සාධනීය පැති තියෙනවා. ඒ වගේම, පාර්ලිමේන්තුවේ සියල්ලන් එකට එක්ව, රට වෙනුවෙන් පොදු එකඟතාවක් සහිතව, දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව, එකම දැක්මකින්, ප්‍රතිපත්තියකින් යුතුව වැඩ කිරීමේ අවශ්‍යතාව මෙකල තියෙනවා. එහිදී උගතුන්, විද්වතුන්, වෘත්තීයවේදීන්ගේ දායකත්වය ඇතිව පොදු වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව රට වෙනුවෙන් තියෙනවා.

අනෙක, ආණ්ඩු බලය ගැනීමේදී ඉදිරිපත් කළ සහ ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන පොරොන්දු ඒ පරිද්දෙන් ඉටු කිරීමත් ඉතා වැදගත්. එහිදී ජනමාධ්‍ය හා පොදුවේ ජනමාධ්‍යවේදීන්ටත් පොදු වගකීමක් පැවරෙනවා. ‘රේටින්ග්ස්’ ගැන නොබලා රට වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම ඉටු කිරීමේදී ජනමාධ්‍යයටත් වගකීමක් පැවරෙනවා. සංවර්ධනය, ව්‍යවසායකත්වය ඉහළ නංවන වැඩපිළිවෙළක් උදෙසා වැඩි විකාශන හා ගුවන් කාලයක් වෙන් කර දෙමින්, පොදුවේ වසරක කාලයක් සඳහාවත් පොදු එකඟතාවකට එළැඹෙමින්, ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ආදියටත් ඒ කර්තව්‍යයට උර දිය හැකියි. ඒ මෙකල දැඩි අවශ්‍යතාවක් පවතින්නක්.

අපි දැන් කතා කරන්නේ ව්‍යවසායකත්ව සංවර්ධනය ගැනයි?

දියුණු රටවල බොහෝ ව්‍යවසායකයන් වෙනවා. අනෙක් අයටත් ඒ තැනට පත් වන්නට මඟ පෙන්වීම්, දිරි දීම් කරනවා. ව්‍යවසායකයන්ට සමාජය තුළ ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. ඒත් මෙරට එය එතරම් දකින්න නැහැ. දියුණු රටවලට ගියාම, ඒ රටට ගොඩබසින විටදීම ‘ව්‍යවසායකයන් සාදරයෙන් පිළිගනිමු’ කියමන නිතර දකින්න ලැබෙනවා. මෙරටත් ව්‍යවසායකයන්ට හිමි ගෞරවය දීමට කටයුතු කිරීමත් වැදගත්. මෑතකදී එක් බැංකුවකදී මා දුටු සිද්ධියක් වෙනවා. එදින එහි පැමිණියේ වයස අවුරුදු 28ක පමණ තරුණයෙක්. ඔහු බැංකු නිලධාරිනියකගෙන් ව්‍යාපාරයක් ඇරඹීමට ණයක් ගත යුතු බව පැවසුවා. එසැණින් ඇය ඔහුගෙන් විමසුවේ ‘ ඔයාට ඩිග්‍රියක් තියෙනවාද?’ කියලායි. එවිට බලාපොරොත්තු සුන් වූ ඔහු කනස්සල්ලෙන් එතැනින් පිට වුණා. මේ රටකට උචිත වාතාවරණයක් නෙවෙයි. ව්‍යවසායකත්වය ගැන රූපවාහිනී නාළිකාවක් ඇරඹිය යුතු බවට විද්වතුන් පෙන්වා දී තිබෙනවා. එසේම, මෙරට සෑම පූජනීය ස්ථානයක් ආශ්‍රිතවම එවැන්නක් ඇරඹීම වැදගත්. ව්‍යවසායකත්වය පිළිබඳ පාසල් පන්ති කාමරයේ සිටම ඉගැන්වීමේ වගකීම රටක් විදියට අපට තියෙනවා.

මේක සංචාරක කර්මාන්තය ගැන වැඩි අවධානයක් යොමුවන කාලයක්?

දැන් මෙරට සංචාරක කර්මාන්තය අතින් කලින් තරම් තදබල ගැටලු දක්නට නැහැ. ඒත් තවදුරටත් සංචාරක කළමනාකරණ ආයතනවල කටයුතු විධිමත් වීමත් අවශ්‍යයි. එහිදී නිසි බාහිර පාර්ශ්වවල ද සහාය ගැනීම වැදගත්. විශේෂයෙන්ම, ප්‍රචාරණ කටයුතු නවීකරණය කළ හැකි නම් ඉන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකියි. එසේම, මෙරට සංචාරක ගමනාන්ත දහස් ගණනක් වුණත් ඉන් බොහොමයකට අදාළව විධිමත් වෙබ් අඩවි දක්නට නැහැ. අඩුම තරමින් එහිලා ප්‍රධාන තැනක් ගන්නා සීගිරිය පිළිබඳ ස්ටෝරි ටෙලින්ග්, ඇනිමේෂන්, ඩිස්නි ආදී නවීන මාදිලි ඔස්සේ නිර්මාණාත්මක ප්‍රචාරණය හරහා තවදුරටත් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගත හැකියි. අපේ රන්මිහිතැන්න දියුණු කරන්න අපට නයිජීරියාවේ නොලියුඩ් එකෙන් ගන්න හුඟක් දේවල් තියෙනවා. ඒක එහෙම වුණා නම්, තවදුරටත් සාම්ප්‍රදායික අපනයන අංශවලින් එහාට ගිහින් අපට මියුසික් වීඩියෝ, ගේම්ස් ආදී පැතිවලටත් විවර වෙන්න පුළුවන්. හැබැයි, ඒකට අපේ ආකල්ප දියුණු තියුණු වෙන්න ඕනි. ඒක කරන්න අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනි. පක්ෂ විපක්ෂ කාගේත් එකමුතුකම එතැනදී ඕනෑ.

අනෙක, සංචාරක කර්මාන්ත අතින් වැඩිදුරටත් විස්තර කරනවා නම්, අපි බටහිර රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා වගේම, චීනය කෙරෙහිත් අවධානයක් යොමු කිරීම වැදගත්. බ්‍රිතාන්‍ය, අමෙරිකාව ආදී රටවල් පවා චීන ජාතික සංචාරකයන් අද්දවා ගැනීම කෙරෙහි විශේෂ ව්‍යාපෘති දියත් කර තියෙනවා. ඒ අතින්, අපටත් වැඩි අපහසුවකින් තොරවම ලොව වටා සැරිසරන්නට වඩාත් ප්‍රිය කරන චීන ජාතික සංචාරකයන් ද මෙහි ගෙන්වා ගත හැකියි. චීන සංචාරකයන් මෙහි පැමිණීම 0.01%කින් වැඩි කරවාගත හැකි වුවත් ඉන් මෙරට ආර්ථික දියුණුවට විශාල පිටිවහලක් ලැබෙනවා. බොහෝ චීන ජාතිකයන්ගේ අතමිට සරුයි. ඔවුන් මැන්ඩරීන් භාෂාව දන්නා සංචාරක මඟ පෙන්වන්නන් ඇතුළු සුළු දේවල් ටිකක් තමයි අපේක්ෂා කරන්නේ, ඉතා සුඛෝපභෝගී පහසුකම් එතරම් සොයන්නේත් නැහැ. විශේෂයෙන් සංස්කෘතික සබඳතා, සිතුම් පැතුම් ආදියත් දෙරට අතර සමානකම් පවතිනවා. ඒ අපට වඩා වාසිදායකයි. වියට්නාමය වැනි රටවල් උදාහරණයට ගත් විට, ඒ අය තමන්ගේ සංස්කෘතියට ළැදිකම ආදිය කෙටිකාලීන දියුණුවට බෙහෙවින් උපකාර වී තියෙනවා.

සංවර්ධනය කියන්නේ ආර්ථික දියුණුව පමණක්මද?

නැහැ. ලෝකයා දැන් දළ ජාතික නිෂ්පාදිතයෙන්, එහෙමත් නැතිනම් ආර්ථික පිරිවිතරවලින් එහාට සංවර්ධනය ගැන කතිකාවත පැතිරී තියෙනවා. ඒ ගැන ලෝකයේ ධන කුවේරයන් පවා අදහස් දක්වා තියෙනවා. ඒ කවුරුත් පාහේ ජීවිතයේ අවසන් කාලයේදී සතුටයි ඉහළම ධනය විදියට පෙන්වා දුන්නේ. ලෝකයේ ජනතාව කෙතරම් සතුටින් සිටිනවාද කියන කාරණය එහිදී මුල් කර ගන්නවා. මිතුරු ඇසුරට, ආධ්‍යාත්මික සතුටට එහිලා ප්‍රධාන තැනක් හිමි වෙනවා. මෙරට ථේරවාද බුදු දහම සංචාරක කර්මාන්තයේ දියුණුවට රුකුලක්. මේ වන විටත් ඒ කෙරෙහි පැහැදී මෙරට පැවිදි වී සිටින විදේශිකයන් රැසක් සිටිනවා. ඒත්, තවම රටක් විදියට අපට එතැනට එන්න බැරිවෙලා. මෙරට ජනතාවගෙන් වැඩි දෙනෙක් ආධ්‍යාත්මික ගුණ අතින් පිරිහීම ඊට බල පෑ කාරණයක්. ඒත්, දමිළ ප්‍රජාවේ වැඩි දෙනෙක් ඔවුන්ගේ සංස්කෘතියට, ව්‍යවසායකත්වයට නැඹුරුයි. ඉකුත්දා මං පුද්ගලිකව ඒ වග යාපනය විශ්වවිද්‍යාලයේදී අත්දුටුවා. ඒ අය දමිළ භාෂාවට අනුවර්තනය කළ මගේ මාර්කටින් සිංහලෙන් කෘතියට ඒ අතින් මෙතෙක් සිංහලෙන් දෙමළට හැරවූ පළමු පොත වශයෙන් ඉහළ පිළිගැනීමක් දුන්නා පමණක් නෙවෙයි, යාපනයේ වෙළෙඳසල් සේවකයන්ව පවා එය පරිශීලනයට පෙලඹවූවා.

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූපය – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT