Monday, April 21, 2025
Home » ලෝක කුසලාන පරාජයෙන් පසු කෝටි 7ක තෑග්ගක් ලැබිලා

ලෝක කුසලාන පරාජයෙන් පසු කෝටි 7ක තෑග්ගක් ලැබිලා

-බාබර් අසාම්ට එල්ල වූ තරග පාවාදීමේ චෝදනාවෙන් පාකිස්තාන ක්‍රිකට් කැලඹෙයි

by sachintha
June 24, 2024 12:22 am 0 comment

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු හදිසියේම බාබර් අසාම්ට පාකිස්තාන රුපියල් කෝටි 7ක් වටිනා මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබුණේ කෙසේද? එම මිල අධික තෑග්ග විස්සයි20 ලෝක කුසලාන තරග පරාජයවීම හේතුවෙන් ලැබුණු එකක් බව පාකිස්තාන මාධ්‍යවේදී මුබාෂිර් ලුක්මාන් කළ හෙළිකිරීමත් සමඟ විශාල කැලඹීමක් හටගෙන තිබේ.

එවැනි ප්‍රකාශ කරන අයට සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ඉල්ලා සිටියි. කිසිදු සාක්ෂියක් නොමැතිව චෝදනා එල්ල කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළේය. බබාර් අසාම්ට සහ කණ්ඩායමට එරෙහිව එල්ලවන චෝදනා පදනම් විරහිත බව පාලක මණ්ඩලය පවසා සිටියි.

එහෙත් බාබර් අසාම්ගේ වත්කම් පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ක්‍රිකට්ලෝලීන් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

“අපට බාබර් ගැන සැකයක් නැහැ. එහෙනම් ඇයි අපි පරීක්ෂණයක් කරන්නේ? චෝදනා කරපු අය සාක්ෂි ඉදිරිපත් කරන්න. අපි අපේ නීති දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තියෙනවා එවැනි පුද්ගලයන්ට නොතීසි නිකුත් කරලා සාක්ෂි ඉල්ලන්න. නොදුන්නොත් අපි අපහාස කිරීමට වන්දි ඉල්ලනවා” පාකිස්තාන ක්‍රිකට් මණ්ඩල ප්‍රකාශකයකු පැවැසීය.

බාබර් අසාම් Audi e-tron වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් ලෝක කුසලාන තරගාවලියෙන් පසු භාවිත කිරීම ප්‍රශ්න සහගත බව පාකිස්තාන මාධ්‍යවේදියා ඔහුගේ ‘එක්ස්‘ ගිණුම මගින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු මේ අර්බුදය හට ගත්තේය.

“බාබර් අසාම් කියනවා මගේ අයියා මට කාර් එක දුන්නා කියලා. ඉතින් මට හිතුණා බාබර්ගේ අයියා මොකක් හරි ලොකු වැඩක් කරනවා ඇති කියලා. ඒ නිසා කෝටි 7ක් වටිනා කාර් එකක් තෑගි කරන්න ඇති කියලා. නමුත් මම විමර්ශනය කරලා හොයාගත්තා බාබර්ගේ අයියා එහෙම දෙයක් දීලා නැහැ කියලා” මාධ්‍යවේදී මුබාෂිර් ලුක්මාන් වීඩියෝවෙන් කියා සිටී.

“එතකොට මට හිතුණා කාර් එක කොහෙන්ද කියලා. අමෙරිකාවට පැරදුණොත් කාර් එනවා ඇෆ්ගනිස්ථානයෙන්, නෙදර්ලන්තයෙන්, පැරදුණොත්, අයර්ලන්තයෙන් කාර් එනවා. ඩුබායිවල මහල් නිවාසයක් තිබේ නම්, එකත් වෙන කාගේ හරි ද?” මුබෂිර් ලුක්මාන් පවසන්නේ කිසිවක් නොකියා සිටියත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ පුද්ගලයන් මේ පිළිබඳව දන්නා බවයි.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT