Friday, July 5, 2024
Home » කෝටි 1.5ක අධි ධාරිතා යතුරුපැදි 3ක් පදිමින් සිටි තරුණයෝ 3ක් මාට්ටු
තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ

කෝටි 1.5ක අධි ධාරිතා යතුරුපැදි 3ක් පදිමින් සිටි තරුණයෝ 3ක් මාට්ටු

- එක් අයෙක් RMV ලොක්කකුගෙ පුතෙක්

by sachintha
June 24, 2024 3:35 am 0 comment

බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් අධි ධාරිතාවෙන් යුක්ත යතුරුපැදි පරික්ෂා කරමින්

තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ බවට සැක කරන රුපියල් කෝටි 1 ½ක් පමණ වටිනා අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි තුනක් ධාවනය කරමින් සිටි තරුණයන් තිදෙනෙක් පැපිලියානේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගේ පුතකු ද සිටින බව පොලිසිය කියයි.

යතුරුපැදි තුනෙන් දෙකක ලියාපදිංචි අංක තහඩු සවි කර තිබූ අතර එම එක් යතුරු පැදියක සවිකර ඇත්තේ අත්අඩංගුවට ගත් තරුණයකුගේ මවකගේ නමට ලියාපදිංචි වී ඇති ස්කූටර් යතුරු පැදියක ලියාපදිංචි අංක තහඩුව බව පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ උපදෙස් මත පොසොන් පොහෝ දින රාත්‍රියේ යොදා තිබූ විශේෂ රථ වාහන පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව පැපිලියාන හන්දියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් (98537) බුද්ධික නිලධාරියා බොරලැස්ගමුව දෙස සිට කොළඹ දෙසට පැමිණි රථවාහන මාර්ග සංඥාවලට අවනතව පැපිලියන හන්දියේ නැවැත්වීමේදී ඒ දෙස විමසිලිමත් වී ඇති අතර එයින් එක් යතුරුපැදියක ලියාපදිංචි අංක තහඩු නොමැති බවට දැක එම යතුරුපැදිය අසලට යාමේදී යතුරුපැදිකරු එකවරම එය වමට හරවා දෙහිවල දෙසට පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

එසැනින් ක්‍රියාත්මක වූ කොස්තාපල්වරයා සෙසු යතුරු පැදි දෙකේ යතුරු ඔහු භාරයට ගෙන ඒ බව ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමත් සමඟම තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ එම ස්ථානයට වහා ගිය ස්ථානාධිපතිවරයා තරුණයන් ලවා දුරකතන ඇමතුම් ලබාදී පලාගිය තරුණයා ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබිණි.

පලාගිය එම තරුණයා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියාගේ පුත්‍රයා බවත් ඔහු පැදවූ යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව නොමැති බවත් පිටුපස අංක තහඩුව පමණක් තිබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී මග වැටී තිබී අහුලාගත් එකක් සවිකළ බවට ප්‍රකාශ කළ බවත් එය ද ව්‍යාජ එකක් බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම තරුණයන් සහ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමත් සමඟම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියාගෙන් සේම තවත් උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ම මොවුන් මුදා හරින ලෙස බලපෑම් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 20 – 26 අතර පසුවන බොරලැස්ගමුව, පානදුර හා කොළඹ දෙක පදිංචිකරුවන්ය.

අත්අඩංගුවට ගත් තරුණයන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඉදිරි දිනක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් භාරයට ගත් යතුරුපැදි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර අද (24) දින අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (30906) පෙරේරා, පොලිස් කොස්තාපල්වරුන් වන (35480) සුමතිපාලන්, (79870) ජගත්, (87223) වනසිංහ, (97536) මින්දුල, (98537) බුද්ධික, (15382) සේනාරත්න මහත්වරු පරීක්ෂණ පවත්වති.

 

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

නුගේගොඩ – සමීර අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x