‘ධර්ම රශ්මි 2024’ පොසොන් කලාපය පිහිටි හෝමාගම දැනුම් පිළිබඳ ආයතන ගණනාවක් පිහිටා තිබෙන ප්‍රඥාබන්ධු පුරවරයක් බවත්, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ සදහම් පණිවිඩය එහි සිට රටටම ගෙන යෑමට කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මෙලෙස ප්‍රකාශ කළේ හෝමාගම පොසොන් කලාප විවෘත කිරීමේ අවස්ථාවට සිකුරාදා (21) එක් වෙමිනි.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව හෝමාගම පුරවරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කෙරෙන ධර්ම රශ්මි පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය පිටිපන NSBM හරිත සරසවි භූමියේදී සිකුරාදා (21) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පොසොන් කලාපය සමාරම්භ කරමින් NSBM හරිත සරසවියේ සිසුන් සහ කාර්ය මණ්ඩලය එහි සංගීත අංශය සමඟ එක්ව ඉදිරිපත් කරන ලද බැති ගී සරණිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් NSBM හරිත සරසවි පරිශ්‍රයේදී ආරම්භ විය. ධර්ම රශ්මි පොසොන් කලාපය විවෘත කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කෙරිණි.
පොසොන් කලාපයට සමගාමීව සංවිධානය කෙරෙන ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකට එක්වර ආහාර පිරිනැමිය හැකි දන්සල අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21) මහින්ද රාජපක්ෂ විදයාලයීය භූමියේදී ආරම්භ විය. යුද හමුදාව විසින් සියලු සංවිධාන කටයුතු සිදු කර පිරිනමනු ලබන මේ දන්සල තුළ එක්වර දහසකට ආසන්න පිරිසකට ආහාර ගැනීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර ඇත. පොසොන් කලාපය පැවැත්වෙන දින තුන පුරා ලක්ෂයකට අධික පිරිසක් වෙනුවෙන් ආහාර පිරිනැමීමට අවශ්‍ය පහසුකම් මේ දන්සල තුළ සලසා ඇත.
ධර්ම රශ්මි පොසොන් කලාපය වෙනුවෙන් ජාතික රූපවාහිනිය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමඟ එක්ව ඉදිරිපත් කළ සජීව බොදු බැති ගී සරණිය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා පොලිස් බටහිර තුර්ය වාදක කණ්ඩායම සංගීතවත් කළ මේ බොදු බැති ගී සරණිය ප්‍රවීණ ගායක ගායිකාවන් රැසකගේ ගායනයෙන් වර්ණවත් විය.
මේ අවස්ථාවට එක් වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් පළ කළේය:
“මේ පළාතේ සිටින දරුවන් අපේ සංස්කෘතියේම සිටින කොටසක්. සංස්කෘතිය සභ්‍යත්වය ශිෂ්ටාචාරය තුළ මේ දරුවන් ජීවත් වනවා. මේ කලාපයේ සිටින සියලු පාසල් සම්බන්ධ කරගෙන විශාල ත්‍යාග මුදල් පිරිනැමීමට දායකත්වය ගෙන ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීම තමයි සිදු කරන්නේ. හරිත සරසවියේ සිට මහින්ද රාජපක්ෂ විද්‍යාලය දක්වාම දනුම් කේන්ද්‍රයක් තියෙන්නේ. ආසියාවේ විශාලම ද්වීතියික පාසල ලෙස මහින්ද රාජපක්ෂ විද්‍යාලයත් ලංකාවේ එකම හරිත සරසවිය වන එක සහ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය නැනෝ තාක්ෂණික ආයතනය, සින්ටෙක් එක, පෙළ පොත් ගබඩා සංකීරණය, මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව, ටෙලිකොම් දත්ත ගබඩාව පිහිටා තිබෙන්නේ මේ කලාපය තුළ. දැනුම් කේන්ද්‍රීය නගරයක් තුළ මවුපියන් දරුවන් පිහිටා තිබෙන්නේ මේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්.
“පොසොන් කලාපයේ කිලෝමීටර් 13ක ප්‍රදේශයක් තුළ විවිධ පිරිස් විසින් සංවිධානය කරන ලද දන්සල් ඔසු පැන් දන්සල් රොටී පාන් සුප් ආදි විවිධ දන්සල් පැවැත්වෙනවා. ඒ අතරින් විශාලතම දන්සල තමයි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මහා බත් දන්සල. මේ සඳහා අපේ රටේ රණවිරුවන් 300කට අධික පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් ලක්ෂයකට වැඩි පිරිසකට තෙදිනක් පුරා බත් දන්සල පැවැත්වෙනවා. දැනුම් කේන්ද්‍රීය නගරයක් තුළ තොරණ බත් දන්සල් සහ අනෙකුත් දන්සල් වගේම සමස්ත මේ ප්‍රදේශයේ දරුවන්ගේ විවිධ නිර්මාණාත්මක දක්ෂතා සහ නිර්මාණ ඇතුළත් කූඩු ප්‍රදර්ශනයක්ද තෙදින පුරා පැවැත්වෙනවා. මේ තෙදින පුරා පොසොන් කලාපයට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. රණවිරුවන් ඔවුන්ගේ රට වෙනුවෙන් මිය ගිය අනෙකුත් රණවිරුවන්ට පින් පිණිසත් රටේ ජනතාවට කෘතවේදිත්වය දැක්වීම පිණිසත් තමයි දින තුනක් පුරා දන්සල සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය සපයන්නේ.
“ථේරවාදී බුදුදහම ලෝකයට බෙදාහරින බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තිබෙන්නේ මේ මැතිවරණ කොට්ඨාසයේ. අප මෑතකදී ආරම්භ කළ හෝමාගම භික්ෂු රෝහල මේ ආසන්නයේ තිබෙනවා. මේ පොසොන් බැති ගී සරණිය පැවැත්වෙන මේ ස්ථානය දැනුම් කේන්ද්‍රීය නගරයක්. ආසියාවේ විශාලතම ද්විතීයික පාසල මහින්ද රාජපක්ෂ විද්‍යාලය, NSBM හරිත සරසවිය, කොළඹ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ, නැනෝ තාක්ෂණික ආයතනය, ටෙලිකොම් දත්ත ගබඩාව, පෙළපොත් ගබඩා සංකීර්ණය, යුද හමුදාවේ පර්යේෂණ සංවර්ධන ඒකක වැනි පර්යේෂණ හා දැනුම් පිළිබඳ ආයතන ගණනාවක් මේ ස්ථානයේ පිහිටා තිබෙනවා. මේක ප්‍රඥාබන්ධු පුරවරයක්. එහි සිට අපේ රටට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ සදහම් පණිවිඩය ගෙන යෑමට කටයුතු කරනවා. කිලෝ මීටර් 13ක් පමණ ප්‍රදේශයක විහිද පවතින මේ පොසොන් කලාපයේ දන්සල්, තොරණ පහන් කූඩු තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, ජන මාධ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය අනෙකුත් රජයේ දෙපාර්තමේන්තු, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍රදේශීය සභාව, ව්‍යාපාරික ප්‍රජාව සියලු දෙනාගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස මේ පොසොන් කලාපය හැඳින්විය හැකිය. යුද හමුදා රණවිරුවන් විසින් මේ අසල තිබෙන දන්සලේදී දහස් ගණනකට දින තුනක් පුරා ආහාර පිරිනමනවා. මෙවැනි කාර්යයන් කිරීම අපට පැවරෙන ඓතිහාසික වගකීමක්.”
පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ අතර, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල, NSBM හරිත සරසවියේ අධ්‍යයන හා තත්ත්ව කළමනාකරණ ප්‍රධානි භාරත දොඩංකොටුව මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
ජනාධිපති ලේකම් කාර්යාලය, ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, ලේක්හවුස් ආයතනය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, NSBM හරිත සරසවිය, කලාප අධ්‍යාපන කාර්යාලය, ප්‍රදේශයේ වෙළෙඳ සංගම්, ප්‍රජා සංවිධාන, ස්වේච්ඡා සංවිධාන ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් සංවිධානය කෙරෙන ධර්ම රශ්මි පොසොන් කලාපය තෙදිනක් පුරා හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර, සර්වඥ ධාතු ප්‍රදර්ශන, තොරණ, පහන් කූඩු, බැති ගී සන්දර්ශන, දන්සල් ඇතුළු විශේෂාංග රාශියක් මෙවර පොසොන් කලාපයට ඇතුළත් වේ.
සිකුරාදා (21) සහ සෙනසුරාදා (22) දෙදින මේ අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට, අතිරේක ලේකම් උමාලි විමලරත්න, ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, NSBM හරිත සරසවියේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල, ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති මහාචාර්ය සුදන්ත ලියනගේ, ස්වාධීන රුපවාහිනියේ සභාපති සුදර්ශන ගුණවර්ධන, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රී, ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සරත් කුමාර පෙරේරා, මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ලලිත්ද අල්විස් මහත්ම මහත්මීන් ඇතුළු විදේශ රටවල් රැසක තනාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ බැතිමත්හු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ධර්ම රශ්මි NSBM හරිත සරසවි පොසොන් කලාපයේ පොසොන් බැති ගී සරණිය එම ක්‍රීඩාංගනයේදී පෙරේදා (22) රාත්‍රියේ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ධර්ම රශ්මි හෝමාගම පොසොන් කලාපයේ දෙවැනි දිනයේ බැති ගී ප්‍රසංගයට දායකත්වය දක්වන ලද්දේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වන අතර, සංගීතය රාජ්‍ය සංගීත කණ්ඩායම විසින් සපයන ලදි. ප්‍රවීණ සංගීතවේදීන් වන චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි, ජානක වික්‍රමසිංහ, විශාරද සහන් ගුණවර්ධන, ඉන්දික ලියනගේ, විශාරද සුජානි හෙට්ටිආරච්චි, NSBM හරිත සරසවියේ දරුදැරියන් සහ සේවක මණ්ඩලය විසින් මෙහිදී බොදු බැති ගී ගායනා කරන ලදි. NSBM විශ්වවිද්‍යාලයේ සිසුසිසුවියන් විසින් මෙහිදී තක්ක ජාතකයද රඟ දක්වන ලදි. මේ බැති ගී සරණිය ස්වාධීන රූපවාහිනිය මඟින් සජීව ලෙස විකාශය කරනු ලැබීය.
සුභාෂිණී සේනානායක
‘ධර්ම රශ්මි 2024’ පොසොන් කලාපය සඳහා මුද්‍රිත හා ඩිජිටල් අනුග්‍රාහකත්වය ලේක්හවුස් – විදත් මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය සහ ජාතික ගුවන්විදුලිය