Home » ජාතික රූපවාහිනියේ සුපුරුදු රිද්මය දකින්නට වැඩි කාලයක් යන්නේ නෑ

ජාතික රූපවාහිනියේ සුපුරුදු රිද්මය දකින්නට වැඩි කාලයක් යන්නේ නෑ

- ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මහාචාර්ය සුදන්ත ලියනගේ

by sachintha
June 24, 2024 3:35 am 0 comment

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්ව සිටින්නේ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාය. ජාතික රූපවාහිනිය නැවත නඟාසිටුවීමට සිදුව ඇත. ඒ සඳහා ගන්නා නව ක්‍රියාමාර්ග මොනවාද? මූලික වශයෙන් නේත්‍රා ටීවී නාළිකාව සහ චැනල් අයි නාළිකාව තවදුරටත් ප්‍රවර්ධනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද ආදී කරුණු කාරණා ගැන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ජාතික රූපවාහිනියට ටෙලි නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් විශාල ඉල්ලීමක් තිබෙනවා

අභ්‍යන්තර උසස්වීම් පටිපාටිය නිසි විදිහටම ක්‍රියාත්මක කරනවා

ජාතික රූපවාහිනිය සහ ගුවන්විදුලිය එකතු වෙනවා නම්, එය සාර්ථක වැඩපිළිවෙළක්

ජාතික රූපවාහිනී සංස්ථාව පසුගිය කාලයේදී ලොකු කඩා වැටීමකට ලක් වුණා. ඔබ මෙහි නව සභාපතිවරයා ලෙසින් නැවත ගොඩනැඟීම සඳහා අලුතින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග මොනවාද?

මම මේ ආයතනයේ සභාපති ධුරය භාර අරගෙන තවමත් කෙටි කාලයකුයි ගතව තිබෙන්නේ. මේ ආයතනය කෙමෙන් සාර්ථක ආයතනයක් බවට පත්කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමිනුයි සිටින්නේ. මේ ආයතනය යම් පසුබෑමකට ලක් වීමට හේතු වුණේ කුමන ආකාරයේ දේවල්ද කියලා, මෙහිදී අපි බලන්න ඕනෑ, ඒ හේතු සොයා අධ්‍යයනය කරමින් තමයි, කටයුතු කළ යුතුව තිබෙන්නේ. මූලිකවම සේවක පිරිස් අතර අන්තර් සම්බන්ධය ගොඩනැඟීම කළ යුතුයි. සේවකයන් තුළ උසස්වීම් පටිපාටිය පිළිබඳව ගැටලුසහගත තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ වගේ තත්ත්වයන් විසඳීම මඟින් ආයතනය නැවත ඔසවා තැබීමට හැකියාව ලැබෙනවා. මූල්‍ය තත්ත්වය පිළිබඳව ද සැලකිලිමත්ව කටයුතු කරනවා. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සංස්ථාවේ මූල්‍ය මට්ටම පිළිබඳ අවධානය යොමු කර කටයුතු කරනවා. එහිදී බාහිර පාර්ශ්වවලට ගෙවිය යුතු මුදල් පිළිබඳව සොයා බැලීමටත් එම බාහිර මුදල් ගෙවීම් පිළිබඳවත් අවධානය යොමු කිරීම තමයි මුදල් අමාත්‍යාංශය සමඟ සිදු කරනු ලබන සාකච්ඡාවල අරමුණ බවට පත්ව තිබෙන්නේ. ජාතික රූපවාහිනිය නැවත ගොඩනැඟීම සඳහා රජයෙන් ලබා ගන්න පුළුවන් අනුග්‍රහය කුමක්ද කියලා අපි සොයා බලමින් යනවා. මේ තත්ත්වය එක් දිනකින් ඇති වූ දෙයක් නොවෙයි. කාලයක සිට පැවති ගැටලුවක් ඔඩුදිවීමක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

අපි දැන් ඉලක්කයක් ඇති කරගෙන තිබෙනවා. ජූලි මස සිට ජාතික රූපවාහිනිය සාර්ථකත්වය වෙත නැවත ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී අපි අපේක්ෂා කරනු ලබන්නේ මූලිකව වියදම් සහ ආදායම් සමාන තත්ත්වයකට පත්කර ගැනීමයි. එමඟින් පමණයි ජාතික රූපවාහිනිය නැවත පාඩු ලබන තැනින් උඩට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ජූලි මාසයෙන් පසු ආයතනය පාඩුව නොමැතිව පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසයක් අපට තියෙනවා. පසුගිය කාලයේදී ආයතනයේ දහසක පමණ සේවක පිරිසක් සිටියා. එහෙත්, ස්වේච්ඡා වන්දි ක්‍රමය මඟින් දැන් සේවක ප්‍රමාණය හයසිය පනහ දක්වා අඩු කිරීමට පුළුවන්කම ලැබී තිබෙනවා. ඒ නිසා සේවක වැටුප් ගෙවීමට වැයවෙන මුදල අඩුව තිබෙනවා.

එපමණක් නොවෙයි, සේවක සේවිකාවන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබෙනවා උසස්වීම් ගැටලු සම්බන්ධව, 2012 වර්ෂයේ සිට නිසි උසස්වීම් ක්‍රමවේදයක් තිබිලා නැහැ. අද ජාතික රූපවාහිනියේ විධායක මට්ටමේ නිලධාරීන් සිටින්නේ වැඩබලන තනතුරුවල. ඒ නිසා අපි අභ්‍යන්තර උසස්වීම් පටිපාටිය නිසි විදිහට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. එමඟින් සේවක කණ්ඩායම් තුළ යම් ප්‍රබෝධයක් ඇති වීම සිදුවන අතර එය ආයතනයේ සාර්ථකත්වයට ලොකු රුකුලක් බවට පත්වෙනු නියතයි.

ජාතික රූපවාහිනිය සහ ජාතික ගුවන්විදුලිය ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් පැමිණ තිබෙනවා. මේ යෝජනාව පිළිබඳව රූපවාහිනී සභාපතිවරයා විදිහට ඔබේ අදහස කුමක්ද?

ඒ යෝජනාව සාර්ථක යෝජනාවක් විදිහට සලකන්න පුළුවන්. දැනට ක්‍රියාත්මක වෙන සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන පාහේ ගමන් කරන්නේ තනි ආයතන විදිහට නොවෙයි. රූපවාහිනී සහ ගුවන්විදුලි යන දෙඅංශය සමඟයි. අපේ සහෝදර ස්වාධීන රූපවාහිනිය පවා තමන්ගේ රේඩියෝව විදිහට ලක්හඬ, වගේ නාළිකාවක් පවත්වාගෙන යනවා. ඒ නිසා ජාතික රූපවාහිනිය සහ ගුවන්විදුලිය එකතු වෙනවා නම්, එහි සාර්ථකත්වයක් ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ ආයතන කාලයක් තිස්සේ වෙන්ව තිබූ ආයතන නිසා, ආයතන දෙකේ සේවකයන් අතර මානව සබඳතා ගොඩනැඟෙන ආකාරය ගැන ද සලකා බලන්න ඕනෑ.

මූල්‍යමය පාඩුවකින් තොරව මේ ආයතන දෙකම පවත්වා ගෙන යාමට ලබා දී තිබෙන යෝජනාව හොඳ යෝජනාවක් විදිහට සලකා බැලිය යුතුයි. එහි ඉලක්කගත පිරිස බවට පත්ව තිබෙන්නේ පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණ ප්‍රජාවයි. දැනටත් අපි දේශපාලන සංවාද වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒ සඳහා පක්ෂ, විපක්ෂ සැමට අවස්ථාව දෙනවා. තවත් වැඩසටහනක් ආරම්භ කරන්න නියමිතයි. ඒ සඳහා සහභාගි වන්නේ දේශපාලනඥයන් නොවෙයි, විවිධ මත දරනු ලබන වියතුනුයි.

ජාතික රූපවාහිනියේ ප්‍රමිතිගත මුද්‍රාව බවට පත්ව තිබුණේ හරවත් ටෙලි නාට්‍ය සම්ප්‍රදායයි. කලා ඉතිහාසය තුළ වඩාත් හරවත් ටෙලි නාට්‍ය ප්‍රචාරය වුණේ ජාතික රූපවාහිනිය මඟිනුයි. එහෙත්, පසුගිය කාලය වන විට ජාතික රූපවාහිනියෙන් අලුත් ටෙලි නාට්‍යක් නරඹන්න හැකියාවක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ ප්‍රේක්ෂක ප්‍රජාව ජාතික රූපවාහිනියෙන් ඈත් වීමයි?

ඒ කරුණ නිවැරැදියි. පසුගිය කාලයේදී ටෙලි නාට්‍ය ලබා ගැනීමට නොහැකි වුණේ මූල්‍යමය හේතු නිසයි. එහෙත්, 2024 මුල් කාලයේදී නැවත ටෙලි නාට්‍ය විකාශනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. අපි පසුගිය මාසයක කාලය ඇතුළත ටෙලි නාට්‍ය හතරක් විකාශනය කිරීම ආරම්භ කළා. ඒ සියලු නාට්‍ය ජාතික රූපවාහිනියේ ඉහළ ටෙලි නාට්‍ය ප්‍රමිතියට අනුගත වූ ටෙලි නාට්‍ය විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. දැන් ජාතික රූපවාහිනියටම ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්න කියලා විශාල ඉල්ලීමක් තිබෙනවා. මම සභාපතිවරයා විදිහට ඉදිරියේදී තවත් ටෙලි නාට්‍ය විකාශනය කිරීමට සැලසුම් කර තිබෙනවා. අද වන විට ටෙලි නාට්‍ය නිෂ්පාදකයන්ගේ අවධානය වෙනදාට වඩා ජාතික රූපවාහිනිය වෙත යොමුව තිබෙනවා.

ජාතික රූපවාහිනිය විසින් ගොඩ නඟපු විවිධ වැඩසටහන් රැසක් විකාශනය නැවතී තිබෙනවා. නැවත එම වැඩසටහන් හෝ ඒ වැඩසටහන්වලට සමාන වැඩසටහන් නැවත නිෂ්පාදනය කර විකාශනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. සුභාවිත ගීත සම්බන්ධ රස වින්දනාත්මක වැඩසටහන්, බයිලා සාදය නමින් තවත් වැඩසටහනක් වගේම තරුණ පරපුර කැමැති චැට් වැඩසටහනක් නැවත ආරම්භ කරනවා. ඒ වැඩසටහන් විකාශනය කිරීමට නියමිතව තිබෙන්නේ දිවා ආහාරය ගන්නා වෙලාවට නිදහසේ රස වින්දනය කිරීමටයි.

ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශයේදී සැමදා එල්ලවන චෝදනාවක් වන්නේ සමබරභාවය පිළිබඳ චෝදනාවයි. ඔබේ පාලනය තුළ ප්‍රවෘත්ති ප්‍රකාශය සමබර කර ගැනීමට ඇති සැලසුම මොන වගේද?

අපි ඒ අඩුපාඩු හදාගෙන සියලු මතවාදවලට ඉඩ ලබා දීමට කටයුතු කර තිබෙනවා. ජාතික රූපවාහිනිය විදිහට රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට ඉඩ ලබා දෙනවා. ඒක ජාතික රූපවාහිනියේ වගකීම. ඒත්, අපි සියලු දේශපාලන මතවාදවලට ප්‍රවෘත්ති ප්‍රකාශවල පමණක් නොවෙයි, දේශපාලන සංවාදවලද ඉඩ ලබා දී තිබෙනවා. ඒ නිසා දැන් ජාතික රූපවාහිනිය පිළිබඳව තිබූ පැරැණි අදහස් ඉවතලා අපේ ප්‍රවෘත්ති නරඹන්න. දැන් අපි ප්‍රවෘත්ති සමබර විදිහට විකාශනය කිරීමට ආරම්භ කරලයි තිබෙන්නේ.

අන්තර් ජාතික ප්‍රවෘත්ති වැඩි වශයෙන් විකාශනය කිරීමට සහ ක්‍රීඩා ප්‍රවෘත්ති වැඩි වශයෙන් විකාශනය කිරීමටත් ජාතික රූපවාහිනිය කටයුතු කර තිබෙනවා. ඒ නිසා ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශය වඩාත් සමබරවත් ඉහළ ප්‍රමිතියකින් යුතුවත් දැන් අපි ඉදිරිපත් කරනවා ක්‍රීඩා තරග සජීව විකාශන කටයුතු ද නැවත අප ආරම්භ කරනවා. දැනටමත් ජාත්‍යන්තර කාන්තා තරග විකාශනය කිරීම ආරම්භ කර තිබෙනවා. මේ ආරම්භයක් පමණයි, මේ තරගය සජීවිව විකාශනය කරනු ලබන්නේ දීර්ඝ කාලයකට පසුවයි. මේ කාන්ත ක්‍රිකට් තරග සජීවී ලෙස ජාතික රූපවාහිනියේ චැනල් අයි ඔස්සේ විකාශනය කිරීමට නියමිතව තිබෙනවා.

චැනල් අයි නාළිකාව මඟින් ඉදිරියට ක්‍රීඩා සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. මෙම කාන්තා ක්‍රිකට් සජීවී විකාශනය සඳහා දැන් අනුග්‍රාහකයන්ගේ දායකත්වය ද වැඩි වෙමින් තිබෙනවා.

ජාතික රූපවාහිනිය එදා සිටම අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව වැඩි ඉඩක් ලබා දුන් ආයතනයක්. අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව නව නැඹුරුවක් ඇති වැඩසටහන් ප්‍රචාරය කරනවාද?

ජාතික රූපවාහිනිය ආරම්භ වන්නේම අධ්‍යාපනය මූලික කර ගත් ආයතනයක් විදිහටයි. අපි ඉදිරියටත් මේ ප්‍රමිතිය සහ ගුණාංග ආරක්ෂා කර ගනිමින් කටයුතු කරනවා. මුතුහර, ඇතුළු ළමා වැඩසටහන් මෙන්ම ළමා දැනුම පෝෂණය වෙන වැඩසටහන් රැසක් ද අපි ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කරනවා. අද මෙරට රූපවාහිනි නාළිකා රාශියක් තිබෙනවා. එහෙත්, මේ විකාශනවලින් බහුතරය විනෝදාස්වාදය මූලික කර ගත් වැඩසටහන්වලට පමණයි ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ. එහෙත්, ජාතික රූපවාහිනිය ඒ ජාතික වගකීම හොඳින් තේරුම් ගත් ආයතනයක් විදිහට රටේ අනාගත පරපුර වෙනුවෙන් අධ්‍යාපන සහ ළමා වැඩසටහන් රාශියක් විකාශනය කරනු ලබනවා. විධිමත් අධ්‍යාපන වැඩසටහන් වගේම අවිධිමත් ළමා වැඩසටහන් රැසක්ද අපි ඉදිරිපත් කරනවා. ඇත්තෙන්ම මම අධ්‍යාපනඥයකු විදිහට ජාතික රූපවාහිනියේ අධ්‍යාපන වැඩසටහන් තවදුරටත් දියුණු කිරීමට අපේක්ෂා කරනවා.

ජාතික රූපවාහිනියේ සහෝදර දෙමළ නාළිකාව වන නේත්‍රා නාළිකාවේ වර්තමාන තත්ත්වය මොන වගේද?

ඇත්තෙන්ම අපේ නේත්‍රා නාළිකාව ලාභ ලබන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. දැන් ඒ නාළිකාවේ සේවක වැටුප් ඇතුළු සෙසු දේවල් තමන් විසින්ම උපයාගෙන පවත්වාගෙන යාමට පුළුවන්කම ලැබී තිබෙනවා. ඇත්තෙන්ම රේටින් අනුව ගත්තත් නේත්‍රා නාළිකාව සෙසු දෙමළ නාළිකා සමඟ තරගකාරීව සිටිනවා. මෙය ඉතාමත් හොඳ තත්ත්වයක් නිසා තවදුරටත් මෙය දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.

නේත්‍රා ටීවී සහ චැනල් අයි විකාශන කටයුතු ක්‍රියාත්මක කරන්නේ ඒකාබද්ධවද?

ඒ තත්ත්වය වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා නේත්‍රා සහ චැනල් අයි වෙනම විකාශන දෙකක් විදිහට පවත්වාගෙන යාමටත් අපි බලාපොරොත්තු වෙනවා.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා විදිහට ඔබේ අනාගත අපේක්ෂාව කුමක්ද?

ජාතික රූපවාහිනී සංස්ථාවට දැන් වයස අවුරුදු හතළිස් දෙකයි. ඒ අවුරුදු හතළිස් දෙකට සභාපතිවරු තිස්පස් දෙනෙකු පත්ව තිබෙනවා. මම තමයි තිස්පස්වන සභාපතිවරයා. ඇත්තෙන්ම සංස්ථාවේ පසුබෑමට සභාපතිවරයකුට තම කාර්ය ඉටු කර ගෙන යාමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම ද එක් හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා දැඩි පසුබෑමකට ලක්ව තිබූ මෙය නැවත හිස ඔසවන ජාතික රූපවාහිනී සංස්ථාවක් බවට පත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. නැවත සුපුරුදු රිද්මයට ගෙන ඒම සඳහා අවශ්‍ය කරනු ලබන කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ඉදිරි සති කිහිපයේදී අරඹනවා.

උදිත ගුණවර්ධන

ඡායාරූපය

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x