Wednesday, April 23, 2025
Home » වැටුණු ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක් දෙන ණය යෝජනා ක්‍රම 4ක්

වැටුණු ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක් දෙන ණය යෝජනා ක්‍රම 4ක්

by sachintha
June 24, 2024 1:03 am 0 comment

සේවකයන් 200ට අඩු කර්මාන්තවලට ලක්ෂ 150ක්

බ්ලැක් ලිස්ට් ව්‍යාපාරවලට ලක්ෂ 50ක්

පරිසර හිතකාමී ව්‍යාපාරවලට මිලියන 30ක්

කුඩා ව්‍යාපාර සංවර්ධනයට ලක්ෂ 10ක්

බිඳ වැටී ඇති කර්මාන්ත, ව්‍යාපාර යළි නැංවීම සඳහා රුපියල් කෝටි 2,000ක් තරම් වූ දැවැන්ත මුදලක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් ව්‍යවසායකයන්ටත් ණය පහසුකම් ලෙස ලබාදීමට රජය නව ණය යෝජනා ක්‍රම හතරක් ආරම්භ කර ඇත. ඉතා අඩු පොලී අනුපාත සහ සරල කොන්දේසි යටතේ මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශය කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු 16ක් හරහා මෙම යෝජනා ක්‍රම හතරෙන් දෙකක් ක්‍රියාත්මක වෙයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (23) පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව Ceylon Federation Of MSME සංවිධානය කළ ව්‍යවසායක ප්‍රජා සම්මන්ත්‍රණය අවස්ථාවේ දී කර්මාන්ත ඇමැතිවරයා මේ බව කීය. සේවකයන් දෙසීයකට අඩු පිරිසක් සේවය කරන නිෂ්පාදන, කර්මාන්ත ව්‍යවසායකයට සහ කර්මාන්තයකට පළමු ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 150ක් උපරිමයක ණය මුදලක් ලබාගත හැකිය. ඒ සඳහා අය කරන පොලිය සියයට හතකි. ණය මුදල ආපසු ගෙවිමේ කාලය වසර දහයකි. ණය මුදල් ගෙවීම ආරම්භ කිරීම සඳහා වසරක සහන කාලයක් ලැබෙයි.

මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු 16ක් තෝරාගෙන ඇත. එක් බැංකුවකට රුපියල් මිලියන 750 ලබා දී ඇත.

දැනට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනය නම තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පවා රුපියල් ලක්ෂ පනහක උපරිමයක ණයක් ලබාගත හැකි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මකය. එහි පොලිය සියයට අටකි. ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර පහකි. ණය මුදල ගෙවීම ආරම්භ කිරීමට වසර තුනක සහන කාලයක් ලබා දී තිබේ. මීට අමතරව කර්මාන්ත අමාත්‍යාංශය විසින් චක්‍රීය අරමුදල් යටතේ ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අරමුදල් සැපයීමට යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක කොට තිබේ . smile සහ e pend එම යෝජනා ක්‍රම දෙකයි. පරිසර හිතකාමී ව්‍යාපෘති ආරම්භ කිරීමට රුපියල් මිලියන 30ක මුදලක් ලබා දෙයි. ඒ සඳහා අය කරන පොලිය 6.5 %කි. ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර දහයකි. අවුරුදු දෙකක සහන කාලයකින් පසු ගෙවීම් ආරම්භ කළ යුතුය. කුඩා ව්‍යාපාර සංවර්ධනයට ද රුපියල් ලක්ෂ දහයක ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇත. ණය ගෙවීමට වසර දහයක කාලයක් ලබා දී ඇත. මෙම ණය මුදල් ලබා ගැනීමේ දී කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගැනීමට අවශ්‍ය නම් ඒවා සතියේ වැඩකරන දින පහක් තුළ ලබාදීමට සූදානම් බව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවැසීය.

මෙම සම්මන්ත්‍රණය අමතා අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, Ceylon Federation Of MSME සභාපතිනි ශෂිකා ද සිල්වා ඇතුළු විද්වතුන් කිහිප දෙනෙක් අදහස් ප්‍රකාශ කරනු ලැබීය. මෙම අවස්ථාවට ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවෝ රැසක්ම සහභාගිවී සිටියහ.

 

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT