Thursday, July 4, 2024
Home » මට තිබෙන්නේ එකම අරමුණයි. ඒ “අයිතිය” ජනතාවට ලබාදීමයි – ජනපති

මට තිබෙන්නේ එකම අරමුණයි. ඒ “අයිතිය” ජනතාවට ලබාදීමයි – ජනපති

by chanaka
June 23, 2024 10:17 am 0 comment

රටේ ජනතාවට “අයිතිය” ලබාදීම තම ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් පවුල්  192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (22) මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික්  ලේකම්  කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමිනි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ආවරණය වන පරිදි මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඊට එක් විය.

මීට අමතරව උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ ඉංග්‍රීසි ඩිප්ලෝමධාරීන්  252 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීම ද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ අතර රුපියල් මිලියන 1,055ක වියදමින් මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ ඉදිකළ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අද විවෘත කෙරුණේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී එතුමාගේ උපදෙස් පරිදි 2016 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එවකට ස්වදේශ කටයුතු අමාත්‍ය  වජිර අබේවර්ධන මහතා විසින්  මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකිරීම ආරම්භ කළේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ සේවා පහසුකම් පුළුල් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ඉන් අනතුරුව පැවති උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ත්‍රිකුණාමලය ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම පිළිබඳ පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී  දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.

කෘෂිකර්ම නවිකරණ වැඩසටහන යටතේ මෙම ප්‍රදේශවල විශාල කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ ඇති මහවැලි ව්‍යාපාරයට අයත් නොදියුණු ඉඩම් දියුණු කිරීමේ වැඩසටහනක් ද කඩිනමින් ආරම්භ කරනවා.

ඒ වගේම වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද සැලසුම් කර තිබෙනවා. මඩකලපුව කොටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංචාරක කටයුතු සඳහා සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර එවිට හොද හෝටලයක් මේ පළාතට ලැබෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ කිරි ගව පාලනය දියුණු කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

මෙම වසරේ ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගැනීමෙන් පසු විශාල වැඩකොටසක් මෙහි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව ත්‍රිකුණාමලය ප්‍රධාන අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනවා.

නැගෙනහිර සහ අග්නිදිග යන විශ්වවිද්‍යාල දෙකම මෙහි පිහිටා තිබෙනවා. මෙම ප්‍රදේශයේ අධ්‍යාපනය තවදුරටත් දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙන අතර වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය සමග වැඩි වැඩියෙන් තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමට හැකි වෙනවා.

ඒ වගේම පසුගිය වසර තුන හතරක් ගුරුවරු බඳවා ගැනීමට නොහැකි වූ නිසා පාසල් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් ගරු පත්වීම් ලබාදීම ද අද සිදු වුණා. විරැකියාව අපේ රටේ විශාල ගැටළුවක් වී තිබෙනවා. ඒ අනුව අපි නව සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා බිහි කර දිය යුතුයි. අප ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල ලෙස දුක් වින්දා. රට නැවත දියුණුවෙමින් තිබෙන අවස්ථාවේ අප කිසිවිටෙකත් එම ජනතාව අමතක කරන්නේ නැහැ.

ඒ අනුව ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන අප ක්‍රියාත්මක කළා. දැන් ඔබට ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමිව තිබෙනවා. කිසිවෙකුට යටත්වීමට අවශ්‍ය නැහැ. අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අපි අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. දැන් ගොවි ජනතාව වෙනුවෙන් සින්නකර ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. මෙම ප්‍රදේශය සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 27,000කට අධික ප්‍රමාණයක් ලබාදීමට නියමිතව තිබෙනවා. මෙම ඉඩම් ඔප්පු ලබාදීම කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අදාළ රාජ්‍ය නිලධාරින් සියලුදෙනා ගමට එවීමට අප වැඩපිළිවෙළක් ද අප සකස් කර තිබෙනවා.

එවිට මෙම ඉඩම් ඔප්පු ලබා ගැනීමට ජනතාවට දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  පැමිණීම අවශ්‍ය නොවන අතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ඉඩම් නිලධාරින්, මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුකාරවරයා ගමට ගොස් එම ඉඩම් ඔප්පු ජනතාවට ලබාදිමට කටයුතු කරනවා. එම වැඩපිළිවෙළ එළැඹෙන සඳුදා ආරම්භ කර කඩිනමින් අවසන් කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. මට තිබෙන්නේ එකම අරමුණයි. ඒ අයිතිය ජනතාවට ලබාදීමයි. එම ලැබෙන ඉඩම් අයිතියා ආරක්ෂා කරගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා‍.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා,

අද දින ගරු ජනාධිපතිතුමා පිළිගැනීමට ලැබීම මම මහත් ගෞරවයක් ලෙස සලකනවා. මෙම ව්‍යාපෘතිය එතුමා විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව කිවයුතුයි. වජිර අබේවර්ධන ඇමතිතුමා එදා ලබාදුන් රුපියල් බිලියනයක පමණ ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ව්‍යාපෘතිය ආරම්භ කළ රනිල් වික්‍රමසිංහ මහතාම අද ජනාධිපතිවරයා ලෙස එය විවෘත කිරීමට පැමිණ සිටිනවා.‍

රටේ නිෂ්පාදන ඉහළ නංවා  ගැනීම සඳහා කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැපවන ලෙස ජනාධිපතිතුමා අපට නිතරම උපදෙස් දී තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කය තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අප කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමඟ සමබන්ධවී කටයුතු කරනවා.

මඩකලපුව දිස්ත්‍රික්කය ගොවි ජනතාව විශාල පිරිසක් සිටින කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් බව කිවයුතුයි.  ඒ වගේම නැගෙනහිර පළාත තුළ රටේ දිගම වෙරළ තීරය පිහිටා ඇති බැවින් ජලජීවී වගාව දියුණු කිරීමට ඇති හැකියාවද ජනාධිපතිතුමා අපට පෙන්වා දී තිබෙනවා. එනිසා ජලජීවී වගා ව්‍යාපෘති සඳහා දේශීය ගොවින් මෙන්ම ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අප සතුව විශාල ඛනිජ වැලි නිධි පවතින අතර ඒ සඳහා අගය එකතු කිරීම සහ ඛනිජ අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා අපට උපදෙස් ලබාදී තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ මේ සියලු ව්‍යාපෘති සංවර්ධනය කිරීමට අප ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා.

මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා,

මඩකලපුවේ ජනතාව වෙනුවෙන් මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම, සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම සහ ගුරු පත්වීම් ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින මෙම අවස්ථාවට පැමිණීම ඉතිහාසගත වෙනවා.

මේ කාලයේ සියලු දෙනා කතා කරන්නේ මැතිවරණ පිළිබඳවයි. ඊට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියා අහනවා. එපමණක් නොවෙයි දේශපාලන නායකයෝ යාපනයට ගොස්, දෙමළ ජනතාවට විවිධ පොරොන්දු ලබා දෙනවා. දෙමළ ජනතාවට යම්කිසි සහනයක් ලබාදිය යුතුයි. ඔබතුමා නිසා ඒ මතයට සියලු දෙනා පැමිණිම පිළිබඳව අප ආඩම්බර වෙනවා.

යුද්ධය නිසා අපට බොහෝ දේ අහිමි වුණා. එවැනි ප්‍රශ්න යළිත් ඇති නොවන ආකාරයට සියලු ජනතාවට සහයෝගයෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි.  මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ මේ රටේ ජීවත්වන සිංහල, මුස්ලිම් , දෙමළ අපි සියලු දෙනා එක්ව ජීවත් විය හැකි රටක් නිර්මාණය වීමයි. ජනතාවට බලය  ලැබෙනවා නම් රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා,

රට බරපතළ ආර්ථික අර්බුදයක තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  රට භාර ගෙන නව ආර්ථික ප්‍රතිපත්ති රැසක් රට තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට නම් ජනතාව අධිෂ්ඨානශීලි විය යුතුයි.

මේ රට ආර්ථික අර්බුදයෙන් ගලවාගෙන තරුණ පරපුරට බලාපොරොත්තුවක් ලබාදීමේ වගකීම අප සියලුදෙනාට පැවරී තිබෙනවා. අපි බංකොළොත් රටක් ලෙස ලෝකයට ණය වෙමින් ඉදිරියට යනවද, එසේ නොමැතිව ණය කළමනාකරණ කර ගනිමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවද කියා අප තීරණය කළ යුතුයි. දිගුකාලීන දැක්මක් සහ ආර්ථික තිරසාරභාවයක් මත අප අද රටක් ලෙස ඉදිරියට පැමිණෙමින් සිටිනවා.  මේ තත්ත්වය ඉදිරියට ගෙන යාමට අපට විශාල වගකීමක් තිබෙනවා. අප ජනාධිපතිතුමාට සහයෝගය ලබාදීමට කටයුතු කරන්නේ ඒ නිසයි.

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා,

අපේ රටේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. අතේ සල්ලි තිබුණත් අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීමට ජනතාවට දින ගණන්  පෝලිම්වල සිටීමට එදා සිදු වුණා.  මේ රට ගොඩගැනීමට කිසිවෙකුට පැහැදිළි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.

නමුත් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමේ නිවැරදි වැඩපිළිවෙළක් තමන් තුළ තිබූ නිසා එදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව රට භාර ගත්තා.

අන්ධකාරයට තරවටු කිරීමට බොහෝ දෙනෙක් සිටියද, අඳුර දුරු කර ආලෝකය ගෙන ඒමට යමෙකු අවශ්‍ය වෙනවා. ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ ඒ නිසයි. එතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා අද රට දියුණු වෙමින් තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් ද, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. මුරලිදරන්, නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එච්. ඊ. එම්. ඩබ්ලිව්. ජී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x