Home » ජාතික ඉංජිනේරු පර්යේෂණ මධ්‍යස්ථානය අභිමානවත් 50 වැනි සංවත්සරය සමරයි

ජාතික ඉංජිනේරු පර්යේෂණ මධ්‍යස්ථානය අභිමානවත් 50 වැනි සංවත්සරය සමරයි

by gayan
June 22, 2024 1:00 am 0 comment
NERDC ශ්‍රී ලංකා ජාතික ඉංජි­නේරු පර්යේ­ෂණ සහ සංව­ර්ධන මධ්‍ය­ස්ථා­නයේ ‍50 වස­රක විශි­ෂ්ට­ත්වය වෙනු­වෙන් තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව සමරු මුද්ද­රය සහ මුල්දින කව­රය එළි­දැක්වූ අව­ස්ථාව

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) සිය විශිෂ්ටත්වයේ අභිමානවත් 50වන සංවත්සරය සමරයි. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුර පරිශ්‍රයේදී පෙරේදා (20) සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ විශිෂ්ටත්වය සැමරීම බීඑම්අයිසීඑච්හිදී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව සිදු කිරීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පිරිවැය ඵලදායි ගොඩනැඟිලි සහ යටිතල පහසුකම් සංවර්ධනය, සුරක්ෂිත පානීය ජලය, ජෛව ස්කන්ධ බලශක්ති යෙදවුම්, බලශක්ති සහ පරිසරය, කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාව යනාදිය ඇතුළත් වන රටෙහි සංවර්ධන වැඩසටහන්හි ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන්හි නිරතව සිටී. NERDCහි සංවර්ධන ව්‍යාපෘති පර්යේෂණ සොයාගැනීම් හරහා ඉදිකිරීම් සඳහා වැය වන ඉහළ පිරිවැය, බලශක්ති අර්බුදය, ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රමාණවත් නොවන යටිතල පහසුකම්, ප්‍රවාහනයේදී ආහාර අපතේ යෑම හා පාරිසරික ගැටලු වැනි වැදගත් ගැටලු සඳහා විසඳුම් දී ඇත.

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය සුදර්මන් උපාලි අධිකාරී මහතා විසින් මේ අවස්ථාවේ පැමිණ සිටි පිරිස පිළිගනු ලැබූහ. මේ අවස්ථාවේ අදහස් දැක්වූ සභාපති මහාචාර්ය සුදර්මන් උපාලි අධිකාරි මහතා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වන තම ආයතනය ඉංජිනේරු කර්මාන්තයේ වසර 50කට ආසන්න පළපුරුද්දක් ඇති බවද කියා සිටියේය. සිය අත්දැකීම් සම්භාරය සහ තාක්‍ෂණික හවුල්කාරිත්වය ඇසුරෙන් අපගේ ගනුදෙනුකරුවන් සඳහා හොඳම ඉංජිනේරු තාක්ෂණයන් ගෙන ඒමට NERDC උත්සාහ දරන බවද ඔහු කියා සිටියේය. වසර 2022 ඔක්තෝබර් සිට 2023 ඔක්තෝබර් දක්වා කාලය විවිධ අභියෝග ජය ගනිමින් සිය ගමන ඉදිරිය ගෙන ගිය බවත් මේ වන විට තමන් විවිධ ජයග්‍රහණය අත්පත් කර ගනිමින් සිටින බවද සඳහන් කළේය. අප දැන් සිටින්නේ ලෝක ආර්ථිකය, දේශීය ආර්ථිකය, කර්මාන්තය සහ NERDC හරහා ගමන් කරන සංක්‍රාන්තියේ එළිපත්තේ බවද කියා සිටියේය. මේ වන විට NERDC හි කළමනාකාරිත්වය නව නායකත්වයකින් ප්‍රබෝධවත් වී ඇති අතර, එමඟින් NERDC ඉදිරියට වැඩි වර්ධනයක් කරා ස්ථාවර වේගයෙන් මෙහෙයවනු ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස JICA ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී යමාඩා ටෙට්සුයා මහතා එක්ව සිටි අතර, NERDCහි ඉදිරි ගමන පිළිබඳ එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයතු සමරවික්‍රම මහතා අදහස් පළ කළේය. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආනන්ද කිත්සිරි විජයනායක මහතා විසින් මුඛ්‍ය දේශනය පවත්වන ලදි. කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සභාව ඇමතීය.

තාක්ෂණ රාජ්‍ය ඇමැති කණක හේරත් මහතා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය විසින් ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ තිබූ ප්‍රදර්ශන කුටිය නැරඹීමටද එක් විය. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය සිය ‍50 වසරක විශිෂ්ටත්වය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කළේය.

මේ විශේෂ අවස්ථාව සමරමින් පැමිණ සිටි විශේෂ අමුත්තන්ට සහ කීර්තිමත් ඉංජිනෙරුවරුන් අගය කරමින් සමරු තිළිණ පිරිනැමීමටද එම ආයතනයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් විසින් කටයුතු කළේය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එම්.යූ.අයි. අලහකෝන්, ජෙ.යෝගරාජා, එස්. ප්‍රසාද් ජයමාන්න, සරත් කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යක්ෂවරුන්, එහි ප්‍රධානීන්, අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්, ඉංජිනේරුවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූපය – සුදත් නිශාන්ත

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x