Home » CIC Holdings 2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් 12%ක වර්ධනයක්

CIC Holdings 2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් 12%ක වර්ධනයක්

by gayan
June 22, 2024 1:00 am 0 comment

කෘෂිකර්මාන්තය ප්‍රමුඛකොට ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඉහළ මට්ටමේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන් මධ්‍යස්ථ සාර්ව ආර්ථික වටපිටාවක් තුළ ශක්තිමත් ආදායම් වර්ධනයක් සනිටුහන් කිරීමට මෙහි දී CIC Holdings සමාගමට හැකි විය. මෙහි දී කෘෂි නිෂ්පාදන හා සෞඛ්‍ය හා පුද්ගලික ආරක්ෂණ අංශයන්හි වර්ධනයන්ට හේතු වූ සමූහයේ භෝග විසඳුම් අංශය 2024 මූල්‍ය වර්ෂයේ සමස්ත ආදායම් වර්ධනය වෙනුවෙන් ප්‍රමුඛ දායකත්වයක් සපයනු ලැබීය.

ඒ අනුව අවසන් මූල්‍ය වර්ෂය සඳහා CIC සමූහය විසින් රුපියල් බිලියන 76.4ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය පසුගිය වසරට සාපේක්ෂව 11.9% ක වර්ධනයකි. සමාලෝචිත කාලය තුළ දී සමූහය විසින් බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 11ක ආදායමක් වාර්තා කරනු ලැබුවේ පෙර වසරට සාපේක්ෂව 9.6%ක වර්ධනයක් අත්පත් කර ගනිමිනි. දළ ලාභය පෙර වසරට සාපේක්ෂව 15.4%ක අඩු වීමක් වාර්තා කරමින් රුපියල් බිලියන 3.7කින් පහළ යන ලදි. දළ ලාභ ආන්තිකය 27%ක් වූ අතර, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී පදනම් ලකුණු 880කින් පහළ යන ලදි. ඊට විශේෂයෙන් හේතු වූයේ තරගකාරීත්වය හා ඉහළ යෙදවුම් පිරිවැයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ CIC Holdings සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අරෝෂන් සේරසිංහ මහතා “ගෙවුණු මූල්‍ය වර්ෂයේ මුල් අවධියේ දී විවිධ අභියෝග හා අහිතකර වෙළෙඳපොළ තත්ත්වයන්ට මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය කිරීමට අපට හැකියාව උදා වුණා.

එම අභියෝගයක් අපගේ සමූහයේ කාර්ය සාධනය කෙරෙහි යම් බලපෑමක් ඇති කළ අතර, අපගේ ශක්තිමත් වියදම් කළමනාකරණ වැඩසටහන්, මනා කාරක ප්‍රාග්ධන කළමනාකරණය හා ඩිජිටල් තාක්ෂණය තුළින් ඒවා මනාව කළමනාකරණය කර ගැනීමට අපි කටයුතු කළා.

ඒ නිසාම 2023 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්ය සාධනයක් සනිටුහන් කිරීමට අපට හැකි වී තිබෙනවා. ඒ තුළින් දුෂ්කරතා හා අභියෝග මධ්‍යයේ වුව සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කිරීමේ හැකියාව හා කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට අප සමත්ව සිටින බව මතක් කළ යුතුයි.” යනුවෙන් පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT