මෙරට වගා කරන එළවළු සහ පලතුරු පසු අස්වනු හානිය සියයට 25ක් දක්වා අඩුවී ඇතැයි පසු අස්වනු තාක්ෂණික ආයතනය සඳහන් කරයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පසුගිය කාලයේ ගන්නා ලද විවිධ තීරණ හේතුවෙන් මේ වන විට පලතුරු සහ එළවළුවල පසු අස්වනු හානිය අවම කරගැනීමට හැකි වූ බව ද එම ආයතනය පෙන්වා දෙයි.මේ සඳහා අස්වනු නෙලීමේ නව තාක්ෂණික ක්‍රම භාවිතය, ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ යොදාගැනීම සහ ඇසුරුම් කිරීමේදී හානි අවම වන අන්දමින් කටයුතු යෙදීම මේ හානි අවම කරගැනීමට වැඩි වශයෙන්ම ඉවහල්වී ඇත.මෙරට වගා කරන පලතුරු සහ එළවළුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නිර්දේශිත ක්‍රම භාවිත නොකිරීමෙන් එළවළු සහ පලතුරු පසු අස්වනු හානිය සියයට 40ක් තරම් ඉහළ මට්ටමක පසුගිය කාලයේ පැවැතිණි.
ඒ අනුව බෝංචි පසු අස්වනු හානිය සියයට 40 සිට 23 දක්වාත්, බණ්ඩක්කා සියයට 40 සිට සියයට 28 දක්වාත්, වම්බටු සියයට 30 සිට 20 දක්වාත්, ගෝවා සියයට 43 සිට 20 දක්වාත්, කැරට් සියයට 30 සිට 2 දක්වාත්, මාළු මිරිස් සියයට 40 සිට 25 දක්වාත්, මෑකරල් සියයට 40 සිට 20 දක්වාත්, අමු මිරිස් සියයට 40 සිට 19 දක්වාත්, කරවිල සියයට 25 සිට 24 දක්වාත්, තක්කාලි සියයට 29 සිට 15 දක්වාත් පසු අස්වනු හානිය පහළ ගොස් තිබේ. පලතුරු අතරින් වැඩිම පසු අස්වනු නාස්තිය සිදුව ඇත්තේ ගස්ලබු සහ පේරවලය. ඒ අනුව ගස්ලබු පසු අස්වනු හානිය සියයට 46 සිට සියයට 19 දක්වාත්, පේර සියයට 40 සිට 20 දක්වාත් අවමවී ඇත. සමස්තයක් ලෙස ගත් කළ මේ එළවළු සහ පලතුරුවල පසු අස්වනු හානිය සියයට 40 සිට සියයට 25 දක්වා අවම කරගැනීමට හැකි වී තිබේ.
ඊයේ (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පසු අස්වනු හානිය සම්බන්ධ තොරතුරු අදාළ නිලධාරීන්ගෙන් විමසීම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.