Monday, July 1, 2024
Home » කල් ඇතිවම ලෝක කුසලාන සුපිරි 8 වටයට
ඉන්දියාව-ඔස්ට්‍රේලියාව-කොදෙව්-ද.අප්‍රිකාව

කල් ඇතිවම ලෝක කුසලාන සුපිරි 8 වටයට

by mahesh
June 14, 2024 1:00 am 0 comment

– අමෙරිකාව-ස්කොට්ලන්තය-ඇෆ්ගනිස්තානය-බංග්ලාදේශය දොර ළඟ
– ශ්‍රී ලංකාව-අයර්ලන්තය-නැමීබියාව-ඕමානය ගෙදර එන්න බඩු පොදි බඳිති

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට යෑමේ අවස්ථා දැනටමත් හිමිකර ගැනීමට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දිය කොදෙව් හා දකුණු අප්‍රිකාව සමත්ව සිටියි.

සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමට ආසන්නතම අවස්ථා අමෙරිකාව, ස්කොට්ලන්තය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය හා නෙදර්ලන්තය උදාකරගෙන ඇති අතර, ඉදිරි තරග ප්‍රතිඵල අනුව සුදුසුකම් ලැබීමට ගණිතමය අවස්ථාවක් උගන්ඩාව උදා කරගෙන ඇත. එමෙන්ම සුපිරි 8 වටයට යන ඉතිරි කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලැබීමට සුළු අවස්ථා ඇති පාකිස්තානය, කැනඩාව, එංගලන්තය, පැපුවා නිව්ගිනියාව, නවසීලන්තය හා නේපාලය අනෙක් අයගේ ප්‍රතිඵල සංසන්දනය කරමින් සිටියි.

දිගින් දිගටම ලද පරාජයන් හා වර්ෂාවට සේදී ගිය තරග ප්‍රතිඵල මත තරගාවලියෙන් ඉවතට විසිවූ කණ්ඩායම් ලෙස අයර්ලන්තය, නැමීබියාව, ඕමානය හා ශ්‍රී ලංකාව නම්වී සිටියි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම තම කාණ්ඩයේ තරග තුනම ජය ලබා ප්‍රසාද ලකුණු 6ක් ලබාගනිමින් සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්විය. ඔවුන්ගේ ගමන ආරම්භ වූයේ ශ්‍රී ලංකාවට එරෙහි ජයග්‍රහණයෙනි. පසුව නෙදර්ලන්තය සහ බංග්ලාදේශය පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ නේපාලය සහ ශ්‍රී ලංකාව අතර තරගය වර්ෂාවට සේදී යාමෙන් සුපිරි 8 වටයේ ස්ථානය තහවුරු කර ගත්හ.

නැමීබියාවට එරෙහිව විශිෂ්ට දස්කම් දැක්වීමකින් පසුව ඔස්ට්‍රේලියාව සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීය. ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරග තුනම ජයගෙන පෙරමුණ ගත්තේය. ඉන්දියාව අමෙරිකාවට එරෙහි තෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමෙන් පසු සුපිරි 8 අදියරේ තම ස්ථානය වෙන්කර ගත් තුන්වැනි කණ්ඩායම බවට පත්වූ අතර, ඊයේ බටහිර ඉන්දීය කොදෙව් පිල නවසීලන්තයට එරෙහිව තීරණාත්මක ජයග්‍රහණයක් ලබා සුපිරි 8 වටයට පිවිසි සිවුවැනි කණ්ඩායම බවට පත්විය.

අමෙරිකාව පාකිස්තානයට එරෙහිව ඔවුන්ගේ ත්‍රාසජනක ජයග්‍රහණය හා කැනඩාවට එරෙහි තරගය ජයග්‍රහණය කළ ද, ඉන්දියාවට එරෙහි පරාජයයෙන් පසු බැසීමකට ලක්විය. එහෙත් අද පැවැත්වෙන අයර්ලන්තය සමඟ තරගයෙන් ජයගතහොත් සුපිරි අට වටය ස්ථීර වේ. එසේ වුවහොත් පාකිස්තානයේ හා කැනඩාවේ සුඵ අවස්ථා අහිමිවී යනු ඇත.

සුපිරි 8 දෙනාගේ වටයට පැමිණීම සඳහා වත්මන් විස්සයි20 ශූර එංගලන්තය තවමත් සටනක නිරතවී සිටියි. නමුත් ඔවුන්ට ‘බී’ කාණ්ඩයේ ස්කොට්ලන්තයෙන් දැඩි තරගයක් ඇත. එහෙත් ස්කොට්ලන්තයට ඉතිරිව ඇති ඔස්ට්‍රේලියාව සමඟ තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගෙන, එංගලන්තයට අද ඇති ඕමානය හා 15 වැනිදා ඇති නැමීබියා අතර තරගය ජයගෙන ශූද්ධ ලකුණු වේගයෙන් සුපිරි 8 වටයට යෑමේ අවස්ථා ඇත.

ඇෆ්ගනිස්ථානය ‘සී’ කාණ්ඩයෙන් සුපිරි 8 වටයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම වීමට බොහෝදුරට ඉඩ ඇත. ඔවුන් සිය පළමු තරග දෙකේදී විශිෂ්ට ජයග්‍රහණ දෙකක් ලබා ලකුණු 4ක් ලබා සිටින අතර, අද පැපුවා නිව්ගිනියාව සමඟ තරගයෙන් හෝ 18 වැනිදා කොදෙව් සමඟ තරගයෙන් එකක් ජය ගැනීම සුපිරි 8 වටයට ප්‍රමාණවත් වේ. එහෙත් ඇෆ්ගනිස්තානය එම තරග දෙකෙන්ම පරාජයවී නැමීබියාවට ඇති නවසීලන්තය තරගයෙන් නැමීබියාව ජයගතහොත් ඔවුන්ට සුපිරි 8 වටයට ශූද්ධ ලකුණු වේගය මත ගණිතමය අවස්ථාවක් හිමිව ඇත.

‘ඩී’ කාණ්ඩයේ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා ගත් අතර, අනෙක් සුදුසුකම් ලබන කණ්ඩායමේ හිඩැස විවෘතව පවතියි. තරගය බැගින් ජය ගෙන ඇති නෙදර්ලන්තය සහ බංගලාදේශය ඒ වෙනුවෙන් ප්‍රබල තරගයක යෙදී සිටියි.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටය මේ 19 වැනිදා ආරම්භවන අතර, අවසන් මහා තරගය 29 වැනිදා බ්‍රිජ්ටවුන්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x