Monday, July 1, 2024
Home » ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සුන්කර බංග්ලාදේශය සුපිරි 8ට ළං වෙයි

ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සුන්කර බංග්ලාදේශය සුපිරි 8ට ළං වෙයි

by mahesh
June 14, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයට එක්වීම සඳහා තිබූ සියුම් බලාපොරොත්තුව බිඳ දැමීමට බංග්ලාදේශය ඊයේ සමත් විය.

තරගාවලියේ 27 වැනි තරගය ලෙස පැවති තීරණාත්මක තරගයෙන් නෙදර්ලන්තය ලකුණු 25කින් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වූ අතර, ඒ සමඟ සුපිරි අට වටයට එක්වීමේ අවස්ථාව ද ඉහළ දමා ගත්තේය. ශ්‍රී ලංකාවට සුපිරි 8 වටයට එක්වීමට නම් මේ තරගය විසඳුමකින් තොරව නිමාවීම අනිවාර්යය වී තිබිණි.

සාන්ත වින්සන්ට්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් බංග්ලාදේශය දුන් ලකුණු 160ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 134ක් පමණි. මේ සමඟ ‘ඩී’ කාණ්ඩයේ දෙවැනි තැන තහවුරු කර ගැනීමට බංග්ලාදේශයට හැකිවිය.

නෙදර්ලන්ත මැද පෙළ පිතිකරුවන් ඉනිම ශක්තිමත් කරමින් ජයග්‍රහණයට අඩිතාලම දැමුවත් ලකුණු 6ක් තුළ කඩුලු 4ක් බිඳ වැටීම හේතුවෙන් ඔවුන්ට ජයග්‍රහණ කරා යෑමට නොහැකිවිණි.

සෙබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙක්ට් පන්දු 22කින් ලකුණු 33ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, වික්‍රම්ජිත් සිං ලකුණු 26ක් සහ නායක ස්කොට් එඩ්වර්ඩ්ස් ලකුණු 25ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී රිෂාඩ් හොසේන් කඩුලු 3ක් සහ ටස්කින් අහමඩ් 2ක් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 23කදී බිඳ වැටුණද ආරම්භක පිතිකරු ටැන්සිඩ් හසන් සමඟ එක්වූ ශකීබ් අල් හසන් පන්දු 32කින් ලකුණු 48ක සබඳතාවක් ගොඩනැඟීය. පන්දු 26කින් ලකුණු 35ක් රැස් කර සිටි ටැන්සිඩ් දැවී යෑමෙන් එම සබඳතාව නිමා වුවද ඉනිම නිමා වන තෙක් නොදැවී සිටි ශකීබ් පන්දු 46කින් ලකුණු 64ක් රැස් කළේ හතරේ පහර 9ක් සමඟිනි. මහමුදුල්ලාහ් ලකුණු 25ක් ඉනිමට එක් කළේය.

පන්දු යැවීමේදී ආර්යන් දත් සහ පෝල් වැන් මීකෙරන් කඩුලු 2 බැගින් දවා ගත්හ. තරගයේ වීරයා ලෙස ශකීබ් අල් හසන් නම් කෙරිණි.

බංග්ලාදේශය – 159/5 (ඕවර 20) ශකීබ් අල් හසන් නොදැවී 64, ටැන්සිඩ් හසන් 35, මහමුදුල්ලාහ් 25 (ආර්යන් දත් 15/2,

පෝල් වැන් මීකෙරන් 17/2)

නෙදර්ලන්තය – 134/8 (ඕවර 20) සෙබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙක්ට් 33, වික්‍රම්ජිත් සිං 26, ස්කොට් එඩ්වර්ඩ්ස් 25 (රිෂාඩ් හොසේන් 33/3, ටස්කින් අහමඩ් 30/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x