Home » ටයිකොන්ඩෝ තරගාවලියට බංග්ලාදේශ යන්න ක්‍රීඩකයෝ 4ක් මුදල් ආධාර පතති

ටයිකොන්ඩෝ තරගාවලියට බංග්ලාදේශ යන්න ක්‍රීඩකයෝ 4ක් මුදල් ආධාර පතති

by mahesh
June 14, 2024 1:00 am 0 comment

දිල්හානි ඩයස්

ලබන ජූලි මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා අගනුවර ටයිකොන්ඩෝ ඒෂියා ගේම්ස් කම්බැක් තරගාවලියට සහභාගි වීමේ අපේක්ෂාවෙන් සිටින කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේ කේ.පී. හෙට්ටිආරච්චි, එන්.කේ.ටී.ටී. නියංගම, පී.කේ.ඒ. සඳලි නිමාෂා සහ එන්.කේ.එස්.එස්. නියංගම යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සංචාරයට අවශ්‍ය මුදල් නැතිව විශාල අපහසුතාවට පත්ව සිටිති.

පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේ ප්‍රථම ස්ථානය සහ ටයිකොන්ඩෝ සංගමය සංවිධානය කළ ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේ ප්‍රථම සහ දෙවැනි ස්ථාන දිනූ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ තරගාවලියේ දොරටු විවර වූහ.

ඩකා ටයිකෝන්ඩෝ ගමන වෙනුවෙන් ටිකට් පත්, නේවාසිකාගාර සහ ආහාරපාන වෙනුවෙන් එක් දරුවකුට තුන්ලක්ෂ විසිදහසක මුදලක් වැය වන බව ගණන් බලා ඇතත් එවැනි මුදලක් වියදම් කිරීමට දරුවන්ගේ මවුපියන්ට හැකියාවක් නැති හෙයින් එම මවුපියන් තමන්ගේ අත කන කර උගස් කර මූලික ගෙවීම් සිදුකර ඇත.

“ප්‍රථම වතාවට අපේ පාසලෙන් දරුවන් හතර දෙනෙක් ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වෙන්නේ. ටයිකොන්ඩෝ තරගාවලියට වැඩිම දරුවන් පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ අපේ පාසලෙන්. මේ මුදල් සොයා ගැනීමට නොහැකිව දරුවන් අසරණ වෙලා. තව පොඩි කාලයයි ඉතිරිව තිබෙන්නේ. ඒ නිසා හැකියාවක් තිබෙන සහයෝගය දැක්වීමට කැමති කෙනකු හෝ කණ්ඩායමක් හෝ ආයතනයක් වේ නම් මේ සඳහා ඉදිරිපත් වන ලෙස පාසලේ ටයිකොන්ඩෝ භාර ගුරුවරිය විදියට ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.” ධර්මපාල මහා විද්‍යාලයේ ටයිකොන්ඩෝ භාර ආචාර්යවරිය වන ලක්ෂි දිසානායක මහත්මිය ‘දිනමිණ’ට පැවැසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT